ආදිවාසී නායකයා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමට දිනයක්

ජූලි 13, 2021

    සිය පාරම්පරික නිජබිම් හෙළි කොට බඩඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගම් වෙත පවරාදීමට මහවැලි සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ආදී වාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 08 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

    මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 08 වැනිදා කැඳවන ලෙසයි.

    පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා සිටින්නේ තම නිජබිම් පිහිටි රඹකැන් ඔය ආශ්‍රිතව තිබෙන ඉඩම් හෙළි කොට ඒවා බඩඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගම් වෙත පවරා දීමට මහවැලි සංවර්ධන අධිකාරිය තීරණය කර ඇති බවයි.

    මේ හරහා තම වර්ගයාට දැඩි අසාධාරණයක් සිදුවන බව පෙන්වා දෙන ආදිවාසී නායකයා මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවත් පවසයි.

    එබැවින් සිය නිජබිම් පුද්ගලික සමාගම් වෙත පවරා දීමට ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කර ලෙසත් ආදිවාසී නායකයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    Latest News