පාඨලීගේ පෙත්සමක් ප්‍රතික්ෂේප වෙයි

මාර් 29, 2022

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.

    මේනකා විජේසුන්දර සහ පී. කුමාරන් රත්නම් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. 

    තීරණය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ, මෙම පෙත්සම විභාග කිරීම සඳහා වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවයි.

    2016 වසරේ පෙබරවාරි මස 28 වැනිදා රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කොට ඊට අදාල සාක්ෂි වසන් කිරීම හා විනාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා කොට තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව පෙත්සම්කාර චම්පික රණවක මහතා පවසයි.

    මෙම අධිචෝදනා පත්‍රය පවරා පවත්වාගෙන යා නොහැකි බවට සිය නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කළ බවද චම්පික රණවක පෙත්සමෙන් සඳහන් කර තිබිණ.

    ඉන් අනතුරුව නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට තීරණය කල බවද ඔහු සඳහන් කර තිබිණ. මහාධිකරණ විනිසුරුවරයාගේ මෙම තීරණය නීතිවිරෝධී බැවින් මහාධිකරණ නඩු විභාගය අත්හිටූවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    ඊට අමතරව තමන්ව අදාළ චෝදනාවලින් නිදහස් කරන ලෙස ද ඔහු සිය පෙත්සම හරහා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

    Latest News