අසාද් සාලිගේ පෙත්සම; විනිසුරු මඩුල්ලේ විනිසුරුවරයෙක් ඉවත් වෙයි

අගෝ 10, 2021

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු ඉවත් වීම නිසා එම පෙත්සම සලකා බැලීම කල් තැබිණ.

    එම පෙත්සම අද සළකා බැලීම සඳහා මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ඒ. එච්. එම්.ඩී. නවාස් මහතා සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම පෙත්සම සළකා බැලීමෙන් ඉවත්වන බවයි.

    ඒ අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වැනිදා කැඳවන ලෙස නියෝග කෙරිණ.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ, ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට ක්‍රියාකිරීම සම්බන්ධයෙන් අසාත් සාලි මහතාට එරෙහිව දැනටමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවයි.

    එම නඩුවට අදාළ අධිචෝදනා පත්‍රය මෝසමක් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දැනුම් දුන්නේය.

    කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කර ලෙසත් තමන් එම චෝදනා වලින් නිදහස් කරන ලෙස ඉල්ලමින් අසාත් සාලි මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 10 අගෝස්තු 2021 16:14

    Latest News