ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ සාක්ෂිකරුට එල්ල වී ඇති බලපෑම ගැන විමර්ශනයක්

ජූලි 11, 2022

    සුමතිපාල සුරේෂ් නැමැති සාක්ෂිකරුට බන්ධනාගාරය තුළදී එල්ල වී ඇති තර්ජන පිළිබඳව විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයාට නියම කළා.



    හිටපු කොටි බුද්ධි අංශ සාමාජිකයෙකු වන ඔහු, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ අසත්‍ය සාක්ෂි ලබා දීමේ සිද්ධිය මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

    මෙම නඩුව අද සංජීව මොරායස් සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නියෝගය කළා.

    එම පරීක්ෂණ වාර්තාව මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි විනිසුරු මඩුල්ල බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයාට නියම කළේ.

    එමෙන්ම අදාල සාක්ෂිකරුට බන්ධනාගාරය තුළදී ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් ඔහුට නීතිඥවරු හමු වී උපදෙස් ලබා ගැනීමට අවකාශ දෙන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියෝග කළා.

    අනතුරුව නඩු විභාගය ලබන 18 වන දා දක්වා කල් තැබුණු අතර එතෙක් අදාළ සාක්ෂිකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියම කළේ.

    මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සාක්ෂිකරුට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 449 වගන්තිය යටතේ පියවර ගැනීමට සහ අධිචෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී ඇති බවයි.

    එම නිසා මේ පිළිබඳව සාක්ෂි සටහන් අධ්‍යයනය කර නීතිපතිවරයා විසින් සිය ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    මෙහිදී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අදාළ සාක්ෂිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට බන්ධනාගාරය තුළදී ඇතැම් රිමාන්ඩ් සිරකරුවන්ගෙන් හා නිලධාරීන් ගෙන් තර්ජන එල්ල වී ඇති බව සඳහන් කළා.

    මෙම නඩුවේ දී සාක්ෂි දිය යුතු ආකාරය පිළිබඳව මෙලෙස තර්ජන එල්ල වී තිබෙන බවයි ඔහු කියා සිටියේ.

    එය අධිකරණයට කළ බලපෑමක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ නම් ඔහුගේ ආරක්ෂාව තහවුරු කළ හැකි නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

    එමෙන්ම ඔහු ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

    එහෙත් එම සාක්ෂිකරු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ.

    දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් ඉහත නියෝග නිකුත් කළා.

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනකුට එරෙහිව නීතිපතිවරයා ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණා.

    Latest News