ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමේ නඩුවේ සාක්ෂි විභාගය යළි හෙට ඇරඹෙයි

ජූනි 16, 2022

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය යළි හෙට දින ආරම්භ කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළා.

    මෙම නඩුව අද මෝසමක් මාර්ගයෙන් සංජීව මොරායස්, දමිත් තොටවත්ත සහ මහෙන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විත්තිකාර යුද හමුදා සාමාජිකයින් පිරිසද බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

    විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ වැඩිදුර විභාගය ඉකුත් 13 වනදාට නියම කර තිබුණ ද එදින හදිසියේ රජයේ නිවාඩුවක් බවට පත්කර තිබීම හේතුවෙන් නඩුවේ විභාගය කල් දැමුණු බව සිහිපත් කළා.

    මෙම නඩුවේ විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හෙයින් යුධ හමුදා නීතියට අනුව ඔවුන්ට වැටුප් ගෙවීම ද අත්හිටුවා ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම නිසා මෙම නඩුව කඩිනමින් විභාගයට ගන්නා ලෙසයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    ඒ අනුව අදාළ නඩුව හෙට දින යළි විභාගයට ගැනීම සඳහා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

    එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබේ.

    2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

    Latest News