ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ සාක්ෂිකරු තවදුරටත් රිමාන්ඩ් කෙරේ

ජූනි 23, 2022

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් සිටින හිටපු කොටි සාමාජිකයෙකු වන සුමතිපාල සුරේෂ් නැමැති සාක්ෂිකරු ලබන 27 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

    එම නඩුව අද සංජීව මොරායස්, දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ යළි විභාගයට ගත්තා.

    පසුගිය දිනයේ අසත්‍ය සාක්ෂි ප්‍රකාශ කෙළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සුමතිපාල සුරේෂ් නැමැති මෙම සාක්ෂිකරු අද දින නඩු විභාගය සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

    පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ මෙම සාක්ෂිකරු ගෙන් අද හරස් ප්‍රශ්න විමසීම සිදු කෙරුණා.

    අදාල සාක්ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න වීමසීම අද දින අවසන් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් නඩු විභාගය ලබන 27 වනදා දක්වා කල් දැමූ අධිකරණය එතෙක් අදාළ සාක්ෂිකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කළා.

    මෙම නඩුවේ දී මීට පෙර අසත්‍ය සාක්ෂි ප්‍රකාශ කළේ යැයි චෝදනා එල්ල වී සිටින යුධ හමුදා සාජන් මේජර් රන්බණ්ඩා නැමැති සාක්ෂිකරු ද මීට පෙර අධිකරනයෙන් විසින් නිකුත්කළ නොතීසියකට අනුව අද දින අධිකරණය හමුවේ පෙනී සිටියා.

    මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සාක්ෂිකරුට එරෙහිව අසත්‍ය සාක්ෂි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන හෙයින් ඔහුට පණවා තිබෙන ඇප කොන්දේසි දැඩි කරන ලෙස ඉල්ලා සිටියා.

    ඒ අනුව රණ්බන්ඩා නැමැති සාක්ෂිකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ වාර්තා කළ යුතු බවටත් කොන්දේසියක් පනවනු ලැබුවා.

    ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ලබන 27 වන දා තෙක් කල් තැබුණා.

    එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබේ..

    2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

    Latest News