එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියේ සාක්ෂි විභාගය 2/20 ඇරඹේ

දෙසැ 18, 2019

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සාක්ෂි විභාගය පෙබරවාරි මස 20 වැනිදා ආරම්භ කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කරයි.

    මෙම නඩුව සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවේ සාක්ෂි වශයෙන් නම්කර තිබෙන දුරකථන අංක දහයකට අදාළ දත්ත වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කළේය. එම දත්ත වලට අදාළ වැඩිදුර විස්තර ලබන විසි වෙනදට පෙර ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ.

    ඒ අනුව සියලුම දුරකථන දත්ත ලබන විසි වනදාට පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම දත්ත විත්ති පාර්ශව වෙත ලබා දෙන බව ද සඳහන් කළේය.

    මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින අයියාසාමි බාලසුබ්‍රමනියම් ඉකුත්දා පෞද්ගලික ඇපයක් මුදාහැරුණ ද ඔහු විසින් නිසි අපකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එම විත්තිකරු අත්අඩංගුට ගන්නා ලෙස දන්වා පරිමිත නිකුත් කිරීමට සිදු වූ බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා විවෘත අධිකරණයේ චෝදනා සිටියි.

    අධිකරණයෙන් පිටව යාමට ලබාදී තිබෙන නිදහස විත්තිකරු විසින් හෑල්ලූවට ලක්කර තිබෙන බව පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා විත්තිකරු මේ ආකාරයෙන් ඇප කොන්දේසි උල්ලංඝණය කරමින් කටයුතු කරන්නේ නම් ඇප අවලංගු කර නඩුව අවසන් වනතුරු ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන බවයි විනිසුරුවරයා අවධාරණය කර සිටියේ.

    ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටි එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඔහු අද දින නිසි ඇපකරුවන් ඉදිරිපත් කරන බව සඳහන් කළේය. ඒ අනුව අදාළ ඇපකරුවන් භාර ගැනීමෙන් පසුව විත්තිකරු මුදාහරිණ ලෙස ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය. අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය පෙබරවාරි මස 20 වැනිදා ආරම්භ කිරීමට තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩු විභාගය ආරම්භ කිරීම සඳහා සියලු අවශ්‍යතා සම්පූර්ණ කර තිබේ ද යන්න සලකා බැලීම සඳහා මෙම නඩුව නැවත ජනවාරි මස 20 වැනිදා කැඳවීමට නියම කළේය.

    එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි), චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබේ.

    2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

    Last modified on බදාදා, 18 දෙසැම්බර් 2019 11:08

    Latest News