පාසල් දිවා ආහාර වැඩ පිළිවෙළ අඛණ්ඩ ව පවත්වාගෙන යාමට චීනයෙන් සහල්

ජූලි 18, 2022

    මෙරට පාසල් 7925ක ළමුන් දස ලක්ෂ අසූ දහසක් සඳහා වසර 30ක ආසන්න කාලයක් අඛණ්ඩ ව දිවා ආහාර වේලක් සපයමින් සාර්ථක ව පැවැත්වූ පාසල් ආහාර වැඩසටහන, රටේ පවතින උද්ධමනය හමුවේ මේ වන විට නිසි ලෙස ක්‍රියාත්මක නොවන, අතර එයට සහයක් ලෙස මහජන චීන සමූහාණ්ඩුව මගින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහල් මෙට්‍රික් ටොන් 10,000ක පරිත්‍යාගය අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම අහාර වැඩසටහන සඳහා යොදා ගැනීමට පියවරගෙන ඇත.

    ඒ අනුව මහජන චීන සමූහාණ්ඩුව විසින් ලබා දෙන දෙවන සහල් තොගය වූ මෙට්‍රික් ටොන් 1,000ක ප්‍රමාණය, මෙරට චීන තානාපති චී සෙන් හොන්ග් (Qi Zhenhong) මහතා විසින් අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දීම, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පසුගිය දා සිදු විය.

    දරිද්‍රතාව හා පෝෂණ ඌනතා යන සාධක සැලකිල්ලට ගෙන, පාසල් ආහාර වැඩසටහනට සිසුන් තෝරාගෙන ඇති අතර, එම පාසල් බහුතරයක් ළමුන් සියයට අඩු පාසල් බවත් එක් ආහාර වේලක් වෙනුවෙන් මෙතෙක් වෙන් කර තිබූ රුපියල් 30/-ක මුදල මෙවන විට රුපියල් 60/- දක්වා වැඩි කර ඇති බැවින්, ඒ අනුව පාසල් ආහාර වැඩසටහන නිසි ලෙස ක්‍රියාතමක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශය පියවර ගන්නා බවත් ඉදිරියේ දී ලැබීමට නියමිත සහල් ප්‍රමාණ ද පාසල් වෙත ලබා දීමට කටයුතු කරනු ලැබේ.

    එසේ ම ඊට සමගාමී ව පාසල් පරිශ්‍රයන්හි මෙන් ම ගෙවතුවල වගා වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීම මගින් මෙම පාසල් ආහාර වැඩසටහන සාර්ථක ව ඉදිරියට පවත්වාගෙන යෑමට ද සැලසුම් කොට ඇත.

    Latest News