මහින්ද, බැසිල් ඇතුළු පිරිසකගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ඉල්ලා අධිකරණයට මෝසමක්

ජූලි 12, 2022

    හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් ඇතුළු පිරිසකගේ  විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබේ.

    වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව මෙම මෝසම ඉදිරිපත් කර තිබේ. 
    මෙම මෝසම තුළින් සඳහන් කර තිබෙන්නේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බවයි.
    එම මූලික අයිතිවාසිකම් පෙත්සම තුළින් හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන පුද්ගලයින් අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබූ බවද එම මෝසමින් සඳහන් වෙයි.
    එහෙත් වර්තමානයේ රට තුළ නිර්මාණය වී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මෙම නඩුකරයේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ජනාධිපතිවරයා පවා සිටින ස්ථානය දැනගැනීමට මහජනතාවට නොහැකි වී ඇති බවත් එමෙන්ම මෙම නඩුකරයේ ඇතැම් වගඋත්තරකරුවන් රටින් පළා යාමේ සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් එම මෝසමෙහි සඳහන් කර තිබේ.
    එබැවින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන අය විදේශගත වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම මෝසමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
    වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ජෙහාන් කනගරත්න සහ  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
    එම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව මෙම මෝසම ඉදිරිපත් කර තිබේ. 
     
     
    Last modified on අඟහරුවාදා, 12 ජූලි 2022 15:25

    Latest News