ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් 13ක්

ජූනි 01, 2022
    දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්  ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ගංවතුර අවධානම සහිත ප්‍රදේශ වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් ස්ථානගත කිරීමට අද උදෑසන ( 01) වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කර තිබෙයි.
    කළු සහ ගිං යන ගංඟා ද්‍රෝණීන්හි  ධාරා  ප්‍රදේශ වෙත  අධික  වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් එම ගංඟාවන්ගේ ජල මට්ටම රත්නපුර, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්ගේ ඇතැම් ප්‍රදේශවල පිටාර මට්ටමට පැමිණ ඇති අතර, එමඟින් පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් මෙලෙස ස්ථානගත කරන ඇත.
    මේ අනුව කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ, බඳුරලිය, බුලත්සිංහල සහ පැලවත්ත යන ප්‍රදේශ වෙතද, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර නගරය, දෙල්ගොඩ, අයගම සහ මුවගම ප්‍රදේශ වෙත ද, දකුණු නාවික විධානය මඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, හිනිදුම, නාගොඩ සහ මාපලගම යන ප්‍රදේශ වෙතද වශයෙන් සහන කණ්ඩායම් 13ක්  ස්ථානගත කිරීම සිදු කර තිබෙයි
    තවද, කළුතර පරගොඩ හා කුඩලිගම ප්‍රදේශයේ සහ ගාල්ල හිනිදුම ප්‍රදේශයේ ඇතිව ඇති සුළු ජල ගැලීම් තත්වය හමුවේ නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසැල් ළමුන් ඇතුළු ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට අද උදෑසන සිට ( 01) අවශ්‍ය සහන සලසමින් සිටියි.

    Latest News