කැලණි ගඟ අවට ජනතාවට ගංවතුර අනතුරු ඇඟවීම්

ජූනි 04, 2021

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථාන වෙත මේ වන විට මිලිමීටර් 200කට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

    එම වර්ෂා තත්වය සහ දෙපාර්තමේන්තුව මඟින් කැලණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනූව ඉදිරි පැය කිහිපය තුළ ගංගාව පිටාර මට්ටමට ළගා විය හැකි බවට දැනුම් දී තිබේ.

    ඒ අනූව, දෙහිඕවිට,රුවන්වැල්ල,සීතාවක,දොම්පේ,හෝමාගම,කඩුවෙල,බියගම,කොළොන්නාව,කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත් ප්‍රදේශයන්හි දැනට හටගෙන ඇති සුළු ජල ගැලීම් තත්වය තවදුරටත් සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

    මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ ප්‍රදේශය හරහා ගමන් ගන්නා වාහන රියදුරන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

    මේ සම්බන්ධ අවශ්‍ය පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ අංශවලට ද දැනුම් දී තිබේ.

    Latest News