ගාලුමෝදර අරගලයට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකු රිමාන්ඩ්

මැයි 19, 2022

    ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම යන අරගලවලට පහර දීමේ සිද්ධින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද්, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළා.

    අත්අඩංගුව ගත් මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

    ඉන් සැකකරුවන් හතර දෙනෙකු හඳුනා ගනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එම සැකකරුවන් ආවරණය කොට මීළඟට නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.

    මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වී තිබෙන බවට චෝදනා කළා.

    "ස්වාමීනි... එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා නීතිපතිවරයා උපදෙස් දී තිබෙනවා. එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබෙනවා. මෙම අරගලවලට පහර දීම සිදු වූයේ ඔහු සිය රාජකාරිය පැහැර හැරීම නිසයි. එහෙත් එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර නැහැ. මෙම අපරාධයට සම්බන්ධ හාල්මැස්සො පමණයි පොලිසිය අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ. තෝරු මෝරු අල්ලන් එන්නේ නැහැ. මෙවැනි ක්‍රියා නිසා මිනිස්සුන්ට නීතිය ගැන තිබෙන විශ්වාසය බිඳ වැටෙනවා. මිනිස්සු හිතන්නෙ පොඩි මිනිහට විතරයි නීතිය ක්‍රියාත්මක වන්නේ කියලා. මේ නිසයි අද අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ. මේ නිසා ඔබතුමාගේත් අපේත් ආරක්ෂාව අනතුරේ වැටී තිබෙනවා." යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු මන්දගාමීව සිදුවන බවටත් චෝදනා කළා.

    එම අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අමතමින් මෙම සිද්ධියේ රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් නම් සඳහන් වී තිබෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වල වත්මන් තත්වය කෙසේ දැයි විමසා සිටියා.

    ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවත් එම ප්‍රකාශයේ සදහන් කරුණු වල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතින බවයි.

    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා "ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ ප්‍රකාශයේ සදහන් කරුණු වල සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව ඔබලා විමර්ශන සිදුකරන බව සඳහන් කළා. එසේ නම් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ට එරෙහිව ලබාදුන් සාක්ෂි වල සත්‍ය සත්‍යතාවය ඔබලා පරික්ෂා කළා ද? උසස් නිලධාරීන් සම්බන්ධයෙන් එක් ආකාරයකටත් සැකකරුවන් සම්බන්ධයෙන් තවත් ආකාරයකටත් කටයුතු කිරීම අධිකරණයට අනුමත කරන්න බැහැ. ප්‍රධාන සැකකරුවන් මගහැර විමර්ශන සිදු කිරීම අනුමත කරන්න බැහැ. සැකකරුවන් තෝරාගෙන පරීක්ෂණ කරන්න එපා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේක තවත් නඩුවක් විතරයි. මේ නඩුව දෙස විවෘතව බලන්න. සෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් සමාන ආකාරයෙන් විමර්ශන කරන්න" යනුවෙන් ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා මෙම විමර්ශනයට නීතිපතිවරයා මැදිහත් වී ඇති හෙයින් අධිකරණය ඊට අදාළව නියෝග නිකුත් කිරීමට අපේක්ෂා නොකරන බව සඳහන් කළා.

    කෙසේවෙතත් ප්‍රධාන සැකකරුවන් අතහැර සෙසු පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරන බව කී මහේස්ත්‍රාත්වරයා මෙම කරුණු සම්බන්ධයෙන් මීළඟ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරන කරුණු ගැන විමසා බලා අවශ්‍ය වුවහොත් සුදුසු නියෝග නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර සිටියා.

    මෙම විමර්ශනවල ප්‍රගතිය අධිකරණය හමුවේ වාර්තා කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද දින අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවන් අටදෙනා මෙම අරගලයට පහර දීමේ සිද්ධියට සක්‍රියව දායක වී තිබෙන බව විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි පැවසුවා.

    "ස්වාමීනි.. අද දින අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවන් අටදෙනා මෙම අරගලයට පහර දීමේ සිද්ධියට සක්‍රියව දායක වී ඇති බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදී ඇති බුද්ධික උමේෂ් නමැත්තාගේ ප්‍රකාශය තුළින් ඩෑන් ප්‍රියසාද් නමැත්තා කඩුවක් රැගෙන තමාට පහරදීමට උත්සාහ කළ බවත් එය පොලිස් නිලධාරීන් මැදිහත් වී වැලැක්වූ බවත් ප්‍රකාශ කර තිබෙනවා. සමන්ලාල් ප්‍රනාන්දු නැමැත්තා පොල්ලකින් පහර දුන් ආකාරය සාක්ෂිවලින් අනාවරණය වී තිබෙනවා. අද දින අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවන් මෙම අපරාධයට දායක වී ඇති ආකාරය දැක්වෙන සාක්ෂි සම්පිණ්ඩන අඩංගු වාර්තාවක් ද මා අධිකරණයට ඉදිරිපත් කරනවා." යනුවෙන් සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ දැඩි මහජන කැළඹීමක් පවතින බව පෙන්වා දුන්නා.

    ඔවුන් ඇප මත මුදා හරිනු ලැබූවොත් මහජන කැළඹීමක් හට ගැනීමට හැකියාවක් පවතින බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉන් ඉදිරි විමර්ශන වලට බාධා සිදුවිය හැකි බවත් අවධාරණය කළා.

    එබැවින් මෙම සිද්ධියට අදාළ විමර්ශනය විශාල පරාසයකට විහිදී යන විමර්ශනයක් වන හෙයින් මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යූ. ආර්. ද .සිල්වා ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් මෙම පහරදීමට සම්බන්ධ වූ බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව පෙන්වා දුන්නා.

    ඔවුන්ට එල්ල වී තිබෙන චෝදනා ඇප දිය හැකි වරදවල් යැයි පෙන්වා දුන් එම නීතිඥවරු ඒ අනුව ඔවුන් ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන කැළඹීමක් පවතින බවට පැමිණිල්ල විසින් ප්‍රකාශ කරන හෙයින් ද මෙම විමර්ශනය පුළුල් පරාසයක විහිදී යන හෙයින් මෙම අවස්ථාවේදී සැකකරුවන් ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන වලට බාධා සිදුවිය හැකි බවයි.

    ඒ අනුව සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් මෙම අවස්ථාවේදී සලකා නොබලන බවත් ඔවුන් ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

    Latest News