කොවිඩ් එන්නත්කරණය ගැන ගොනු කර ඇති පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

ජන 11, 2022

    වයස අවුරුදු 18ට වඩා අඩු පුද්ගලයින්ට කොවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ජනවාරි මස 31 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් න් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොවිඩ් එන්නත් කරන වැඩ සටහනේ ප්‍රධානියා වශයෙන් තමා ක්‍රියා කරන බවත් එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිල ප්‍රකාශය නිකුත් කරන්නේ තමන් පමණක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඉකුත් දෙසැම්බර් මස 15 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබූ බව පෙන්වා දුන්නා.

    එසේ තිබියදී ලමුන් එන්නත් කරණය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ද ප්‍රකාශ නිකුත් කොට ඇතැයි චෝදනා කළ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව උල්ලංඝනය කිරීමක් බවත් පෙන්වා දුන්නා.

    මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු සඳහන් කළා.

    කෙසේ වෙතත් ළමුන් එන්නත්කරණයට ලක් කරන්නේ නම් ඒ සඳහා ඔවුන්ගේ දෙමව්පියන්ගේ හෝ භාරකරුවන්ගේ කැමැත්ත ලබාගෙන එම ක්‍රියාවලිය පවත්වාගෙන යාම සුදුසු බවයි මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේ.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම සඳහා ලබන 31 වනදා කැඳවන ලෙස නියෝග කළා.

    වෛද්‍ය ධරණී රාජසිංහම් ඇතුළු තිදෙනෙකු විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ කියා සිටින්නේ පුද්ගලයින් බලහත්කාරයෙන් එන්නත්කරණය ලක් කිරීම නීතියට පටහැනි බවයි.

    ව්‍යවස්ථාදායකයේ අනුමැතියක් නොමැතිව එවැනි නීතියක් පැනවීමට වගඋත්තරකරුවන්ට බලයක් නොමැති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

    මෙහි වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය ඇමති සූදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

    Latest News