ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා සිය ධුරයේ වැඩ භාරගනී

ජන 11, 2022
  • ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් වූ සොනාල ගුණවර්ධන මහතා අද සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

    සොනාල ගුණවර්ධන මහතා මීට ප්‍රථම ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ සභාපතිවරයා ලෙස ක්‍රියා කළේය. ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වෙයි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ගුණවර්ධන මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීතී පීඨයෙන් ප්‍රථම උපාධිය ලබා ගත්තේය.

    චීනයේ ෂෙන්යැන්ග් ඇරෝස්පේස් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය හා ආර්ථික විද්‍යාව පිළිබඳව පශ්චාද් උපාධිය ලබාගත් සොනාල ගුණවර්ධන මහතා දෙස් විදෙස් ආයතන කිහිපයකම කළමනාකරණ මට්ටමේ තනතුරු හොඹවා තිබේ.

    සර්ව ආගමික වතාවත්වල ආශිර්වාදය මධ්‍යයේ නව සභාපතිවරයා සිය රාජකාරී ආරම්භ කළේය.

    ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සම්බන්ධීකරණ ලේකම් සමන් දිසානායක සහ ජනාධිපති මාධ්‍ය අංශයේ සන්නිවේදන අධ්‍යක්ෂ සුරේෂ් නුවන් තාරක, රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරුන් සහ සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, නිලධාරීන් හා කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    Latest News