මුතුරාජවෙල ඉඩම් පවරා ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

නොවැ 05, 2021

    මුතුරාජවෙල තෙත් බිම පරිසර සංවේදී කලාපයක් වශයෙන් නම් කර එය "රැම්සා" තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.

    සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, සහ එම ප්‍රදේශයේ පදිංචි ධීවරයකු වන කේ. එස්. එන්. ප්‍රනාන්දු යන මහත්වරු විසින් පෙත්සම ඉදිරිපත් කළා.

    නාගරික සංවර්ධන සහ නිවාස ඇමැති හා අගමැති මහින්ද රාජපක්ෂ, රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා, එම අමාත්‍යාංශ ලේකම් වරයා, වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර, වත්තල, මීගමුව, ජා-ඇල ප්‍රාදේශීය ලේකම්වරු, නීතිපති වරයා ඇතුළු 14 දෙනෙකු මෙහි වගඋත්තර කරුවන් ලෙස නම් කර තිබෙනවා.

    මුතුරාජවෙල මීගමුව කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ පුද්ගලයන් ලක්ෂ තුනක් පමණ ජීවත් වන අතර එයින් පන්දහසක පමණ පිරිසක් එම තෙත් බිම ආශ්‍රිත ව ධීවර, වගා, ආදී කටයුතු වල නිරත වන බව පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් ඔක්තෝබර් මස 07 වනදා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ 2248/ 44 දරණ ගැසට් නිවේදනය මගින් මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ පිහිටි ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගෙන ඒවා "රැම්සා" තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීමට අවසර ලබාදී ඇති බවයි.

    රැම්සා තෙත් බිම සංවර්ධනය කිරීමේ කාර්යය නාගරික සංවර්ධන අධිකාරියට ඉටු කළ නොහැකි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එය සිදු කළ යුත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ බවද පවසනවා.

    රැම්සා තෙත් බිමක් නම් කළ පසු ඊට මහජනතාව ඇතුළුවීම තහනම් කෙරෙන අතර මේ හරහා අදාළ ප්‍රදේශයේ පදිංචි කරුවන්ගේ පදිංචි කටයුතු, රැකීරක්ෂා හා ආගමික කටයුතුවලට දැඩි අගතියක් සිදු විය හැකි බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ

    ඒ අනුව නීති විරෝධී ගැසට් නිවේදනයක් මාර්ගයෙන් මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ ඉඩම් පවරා ගැනීමට ගෙන තිබෙන තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ස්ථාපිත කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

    එමෙන්ම නීතිය ඉදිරියේ බලාත්මක නොවන අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් එම ගැසට් නිවේදනය පදනම් කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News