මුතුරාජවෙල ගැටළුවට විසඳුම් සෙවීමට විශේෂ කමිටුවක්

නොවැ 11, 2021

    මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ ගැසට් පත‍්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව පූජකතුමන්ලා, ප‍්‍රදේශවාසී ජනතාව මෙන්ම දේශපාලන නියෝජිතයින් ඇතුළු විවිධ පාර්ශවයන්ගේ විරෝධතා මතුවීමත් සමග රටතුළ උද්ගතව ඇති තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේද අදහස් දැක්වීම් සහ විරෝධතා දැක්වීම දක්නට ලැබුණි. 

    අනතුරුව පසුගියදා (09) පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 50කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පැවැති විශේෂ සාකච්ඡාවක ප‍්‍රතිඵලයක පසු විපරමක් ලෙස ජනාධිපතිතුමන්ගේ සහ අග‍්‍රාමාත්‍යතුමන්ගේ උපදෙසින්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 08 දෙනෙකුගෙන් සහ ගම්පහ දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට කටයුතු කර ඇත.

    ඒ අනූව මහින්ද අමරවීර, සී.බී රත්නායක, නාලක ගොඩහේවා, නිමල් ලාන්සා, සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ, නලින් ප‍්‍රනාන්දු, ජයන්ත වීරසිංහ, වීරසුමන වීරසිංහ යන මැති ඇමතිවරුන් සහ ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා එම කමිටුව නියෝජනය කරනු ලබයි.

    නව ගැසට් පත‍්‍රයේ හඳුනාගෙන ඇති ක්‍ෂෙත‍්‍රවල අන්තර්ගතයට යම් වෙනසක් යෝජනා කිරීමට පෙර ඒවා සමාලෝචනය කිරීම මෙම කමිටුවේ ප‍්‍රමුඛ කාර්යය භාරයයි.

    ඊට අමතරව මෙම කමිටුව මගින් මුතුරාජවෙල ගැටළුවට සම්බන්ධ අනෙකුත් පාර්ශවකරුවන් සමග ද සාකච්ඡා කිරීමට නියමිතයි.

    Latest News