බැසිල් රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා පෙත්සමක්

නොවැ 05, 2021

    බැසිල් රාජපක්ෂ මහතා විසින් දරණ මුදල් අමාත්‍ය ධූරය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණා.

    පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්, බරපතල වංචා හා දූෂණ සොයාබැලූ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා සහ නීතිඥ සුරාජ් වල්ගම යන අය විසින් පෙත්සම ඉදිරිපත් කළා

    එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකානු නීතිය යටතේ පුරවැසිභාවය හිමිකර ගත් ද්විත්ව පුරවැසියෙකු බැවින් මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හා අමාත්‍ය ධුරයක් දැරීමට ඔහුට සුදුසු කමක් නොමැති බවයි.

    බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ පළමු දිවුරුම අමෙරිකාවේ දී ලබා ගෙන ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් එවැනි පුද්ගලයෙකු මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීම හා අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කිරීම රටට දැඩි අගතිදායක බවයි පෙන්වා දෙන්නේ.

    ඒ අනුව අමෙරිකානු පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂ මහතාට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හා මුදල් අමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම් කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    ඊට අමතරව බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හා මුදල් අමාත්‍ය ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද ඔවුන් තවත් ඉල්ලීමක් කළා.

    එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම වැළැක්වීමේ තවත් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News