මුතුරාජවෙල මායිම් ලකුණු කිරීමට යාමේදී විරෝධතා

මාර් 04, 2022

    මුතුරාජවෙල සංරක්ෂිත කලාපයට අදාළ මායිම් ලකුණු කිරීමේ කටයුතු සිදු කිරීමේදී ප්‍රදේශයේ ජනතාව ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් ඊට විරෝධතා එල්ල වී තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

    මුතුරාජවෙල සංරක්ෂිත කලාපය තුල සිදුවන පරිසර දූෂණ ක්‍රියා වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සහ කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම දැනුම්දීම සිදුකළා.

    මුතුරාජවෙල සංරක්ෂිත කලාපයට අදාළ මායිම් ලකුණු කිරීමට පියවර ගන්නා ලෙස මීට පෙර අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට නියෝග කර තිබුණා.

    එහි ප්‍රගතිය අද අධිකරණයට දැන්වූ රජයේ නීතිඥවරයා මෙම මායිම් ලකුණු කිරීමේ කටයුතු සිදු කිරීමේ දී ප්‍රදේශයේ ජනතාව ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් විරෝධතා එල්ල වෙමින් තිබෙන බව සඳහන් කළා.

    එහෙත් ප්‍රදේශයේ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ සහය ලබාගෙන එම කටයුතු ඉදිරියට කරගෙන යාමට පියවර ගෙන ඇති බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

    ඉන් අනතුරුව පෙත්සම අප්‍රේල් මස 4 වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල ඉදිරියේ එදින එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළා.

    මුතුරාජවෙල සංරක්ෂිත කලාපය තුල සිදුවන නීති විරෝධී ගොඩකිරීම්, ඉදිකිරීම් සහ වැලි ගොඩදැමීම් වැනි පාරිසරික දූෂණ ක්‍රියා වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සහ කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණා.

    Latest News