බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහි නඩුවක් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන තීරණය ලබන 11 වනදා

නොවැ 05, 2021

    2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඡන්ද දායකයින් පෙළඹවීමේ අරමුණින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහි නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද? නැද්ද? යන තීරණය ලබන 11 වනදා දැනුම් දෙන බව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණය විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැදවූ අවස්ථාවේදී විත්තිකරුවන්ට අදාල අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේ කියවා දෙනු ලැබුවා.

    එහිදී බැසිල් රාජපක්ෂ හා කිත්සිරි රණවක යන විත්තිකරුවන් විවෘත අධිකරණය සඳහන් කළේ තමන් එම චෝදනාවන්ට නිවැරදිකරුවන් බවයි.

    ඉන් අනතුරුව නඩු විභාගය ආරම්භ වූ අතර එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ නඩුවේ 6 වන සාක්ෂිකරු වශයෙන් නම් කර සිටි සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චම්පික ඩිලාන් කළුආරච්චි මහතා සාක්ෂි ලබා දුන්නා.

    විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා මතුකළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකරු ප්‍රශ්නගත මෙම නඩුවට පාදකවන "ලිත" 2004 වසරේ සිට මුද්‍රණය කර තිබූ බව පිළිගත්තා.

    2004 වසරේ මුද්‍රණය කළ ලිතේ එවක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ, එවක සමෘද්ධි අමාත්‍යවරුන් වන එස් බී දිසානායක හා ආර්.ඒ.ඩී. සිරිසේන යන මහත්වරුන් ගේ ඡායාරූප අන්තර්ගතව තිබූ බවද ඔහු අධිකරණය හමුවේ සඳහන් කළා.

    මෙම නඩුවට පාදකවන ලිත මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය දිවිනැගුම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ තීරණයක් අනුව සිදු වූ බවත් එම මුද්‍රණ කටයුත්ත සඳහා විෂය භාර ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ගෙන් අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය නොවන බවත් සාක්ෂිකරු සඳහන් කළා.

    දිවිනැගුම පනත යටතේ මෙවැනි කටයුතු ඉටු කිරීම සඳහා සමෘද්ධි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලතල පවතින බවයි සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    මෙම සාක්ෂිකරුගේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසුව විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන හා ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් දැනට ඉදිරිපත් වී ඇති සාක්ෂි තුළින් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බව සඳහන් කළා.

    ඒ අනුව විත්තිකරුවන්ට අදාළ අධි චෝදනා ඉල්ලා අස්කරගන්නා ලෙස නීතිපතිවරයා වෙත දැනටමත් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඒ අනුව මෙම අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් කරුණු සලකා බලන ලෙසයි අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයාට දන්වා සිටියේ.

    ඊට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2015 වසරේ දූෂණ මර්දන ලේකම් කාර්‍යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම නඩු පැවරීම් සිදු වූ බව සඳහන් කළා.

    එහෙත් මෙම නඩුවට අදාළ සාක්ෂි අද දින මෙහෙයවනු ලැබූ අවස්ථාවේදී 2015 වසරේ මෙම ලිත් මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය දිවිනැගුම පනත යටතේ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ සාමාන්‍ය කටයුත්තක් බව පෙනී යන්නේ යැයි ද පැවසුවා.

    ඒ අනුව මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? පිළිබඳව කරුණු අධ්‍යනය කර දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    ඒ අනුව මෙම නඩුව ලබන 11 වනදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදිනම අදාළ අධිචෝදනා පත්‍ර තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයාට නියෝග කළා.

    2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඡන්දදායකයන් පෙළඹවීමේ අරමුණින් එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදා හැරීම තුළින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ ඉකුත් යහපාලන රජය සමයේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබුණා.

    Latest News