අසාත් සාලිගේ ඇප ඉල්ලීම ඉල්ලා අස් කර ගැනේ

සැප් 24, 2021

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥ වරු විසින් ඉදිරිපත් කළ ඇප අයදුම්පතක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා(අංක-05 අධිකරණය) ඉදිරියේ කැදවනු ලැබුවා.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ වසන්ත පෙරේරා බව අධිකරණය හමුවේ කරුණු මෙම විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණ අංක -02 හී අධි චෝදනා ගොනු කර ඇති බව සඳහන් කළා.

    ඒ අනුව එම අධිකරණය ඉදිරියේ මෙම ඇප ඉල්ලිමක් ඉදිරිපත් කරන්නේ නම් විත්තිකරු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා සූදානම් බවයි රජයේ නීතිඥවරයා සඳහන් කළේ.

    මෙහිදී කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේ මෙම විත්තිකරුව දැනටමත් වෙනත් අධිකරණයක් ඉදිරියේ අධි චෝදනා පත්‍ර ගොනු කර තිබෙන හෙයින් මෙම ඇප ඉල්ලීම සලකා බැලීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.

    අසාද් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු ඇප මත මුදා හැරීම සඳහා අවශ්‍ය අනුමැතිය පළ කිරීමට නීතිපතිවරයා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇතැයි තමාට දැනගන්නට තිබෙන බව සඳහන් කර සිටියා.

    කෙසේ වෙතත් තමා මෙම ඇප ඉල්ලීම ඉල්ලා අස්කර ගන්නා බවත් නිසි අධිකරණය ඉදිරියේ නැවත මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණයට දන්වා සිටියා.

    ඒ අනුව ඇප ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව එය ප්‍රතික්ෂේප කිරීමට ද තීන්දු කළා.

    ඉකුත් මාර්තු මස 09 වනදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අසාත් සාලි මහතාට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම අධිචෝදනා ගොනු කර තිබේ.

    Latest News