අත්අඩංගුවේ පසු වන අසාත් සාලිට කොළඹ මහාධිකරණයේ නඩු

ජූනි 28, 2021

    බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

    ඒ, ඉකුත් මාර්තු 09 වන දා ආන්දෝලනයකට තුඩු දුන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා, මත භේදයට තුඩු දුන් ප්‍රකාශ සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ යි.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තමන් මුදා හරින ලෙස ඉල්ලමින් අසාත් සාලි මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ‍ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම දැනුම් දීම සිදු කළා.

    මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ ඒ එච් එම් ඩී නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී නීතිපතිවරයා ෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් මාර්තු මස 09 වන දා ආන්දෝලනයකට තුඩු දුන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ආගම් අතර නොසන්සුන්තාවයක් ඇති කළ හැකි කරුණු ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා දෙකක් ගොනුකර ඇති බවයි.

    මාවනැල්ල බුදු පිළිමවලට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පමා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසාත් සාලි මහතාට අදාල පරීක්ෂණ තවදුරටත් සිදු කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා.

    පෙත්සම්කාර අසාද් සාලි මහතා මේ වන විට කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ තත්ත්වය යහපත් වූ පසු සුදුසු මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් මෙහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා දැනුම් දුන්නා.

    මෙහිදී අසාත් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහිව වර්තමානයේ චෝදනා ගොනු කර ඇති හෙයින් ඇප පිළිබඳව සලකා බැලීම යෝග්‍ය බව දන්වා සිටියා.

    එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ පෙත්සම්කරු නිසී මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එම අධිකරණය හමුවේ පිළිබඳ ඇප ඉල්ලීම ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවයි.

    ශ්‍රේෂ්ඨාධිකරණය ඇප පිළිබඳව සලකා බලන අධිකරණයක් නොවන හෙයින් එම ඉල්ලීම නිසි අධිකරණය හමුවේ සිදු කිරීම සුදුසු බව ද මෙහි දී විනිසුරු ජයවර්ධන මහතා පෙන්වා දුන්නා.

    ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 29 වැනිදා කැඳවීමට ද නියම කළා.

    Latest News