අසාත් සාලිට අධිචෝදනා බාරදෙයි

ඔක් 25, 2021

    ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

    එම අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අසාද් සාලි මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් රෝද පුටුවකින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

    එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර විත්තිකරුට භාරදීම සිදු කළා.

    අනතුරුව නඩු විභාගය නොවැම්බර් මස 2 වනදා සිදු කිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කළා.

    අසාද් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා, තම සේවාදායකයා ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය විමසා සිටින බව දැනුම් දුන්නා.

    එම ඇප ඉල්ලීමට මෙම අවස්ථාවේ විරුද්ධ වන බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා දන්වා සිටියේ.

    ඉකුත් මාර්තු මස 09 වනදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අසාද් සාලි මහතා විසින් "අපේ නීතිය අපිට.. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ "හදිසියයි" හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ" යනුවෙන්

    ප්‍රකාශයක් සිදුකර තිබූ බව නීතිපතිවරයා විසින් ගොනුකළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කොට තිබේ.

    මෙම ප්‍රකාශය තුළින් ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අසාත් සාලි මහතාට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම අධිචෝදනා ගොනු කර තිබේ.

    Latest News