ගෝලීය ආහාර පද්ධති තිරසර පරිවර්තනයකට ලක් කළ යුතුයි - ජනපති

සැප් 24, 2021

    ගෝලීය ආහාර පද්ධති තිරසර පරිවර්තනයකට ලක් කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

    ඒ සඳහා සියලු පාර්ශ්වකරුවන් එක් විය යුතු බව එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුඵවේ මාර්ගගත සභාව ඊයේ අමතමින් එතුමා සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව නිව්යෝක් නගරයේදී එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුඵව ඊයේ ආරම්භ විය. අපට අවශ්‍ය අනාගතය සඳහා වු පියවර වේගවත් කිරීම යන්න එහි තේමාවයි. සමුඵවේ ප්‍රධාන දේශනය පැවැත්වුයේ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතායි.
    කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ගෝලීය ආහාර සුරක්ෂිතතාවගේ දුර්වලතා පෙන්නුම් කළ අවස්ථාවක් ලෙස ජනාධිපතිතුමා හැඳින්විය. දේශගුණික විපර්යාස සමග එම තත්ත්වය තවත් අයහපත් අතට හැරෙනු ඇතැයි එතුමා පෙන්වා දුන්නේය. තිරසර ආහාර පද්ධති යනු ශ්‍රිි ලංකාවේ සාරවත් සමාජ ,සංස්කෘතික හා ආර්ථික උරුමයේ කොටසකි.

    ජනතාවගේ සෞඛ්‍යයට සහ පරිසරයට අයහපත් බලපෑම් එල්ල කරන රසායනික පොහොර ,කෘමිනාශක සහ වල්නාශක තහනම් කිරීමට තම රජය මෑතක දී ගත් තීරණය තිරසර සංවර්ධනය සඳහා වු රාජ්‍ය ප්‍රතිපත්තියේ වැදගත් සන්ධිස්ථානයක් බව ජනාධිපතිතුමා පැවසීය. දීර්ඝකාලීනව රසායනික පොහොරවලට හුරු වු ගොවින්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම දුෂ්කරය. කාබනික පොහොර ප්‍රමාණවත් තරම් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමද අභියෝගයකි. ඒ සදහා තාක්ෂණික හා ද්විපාර්ශ්වික සහයෝගිතාව ශ්‍රිී ලංකාව අගය කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය. කාබනික කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ දී ග්‍රාමීය දරිද්‍රතාව අවම වන අයුරින් වෙලෙදපොල ඉලක්ක කර ගත් ආහාර දාම වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වෙයි. එමගින් ශ්‍රිි ලංකාවේ ආහාර පද්ධතිය තිරසර ලෙස පරිවර්තනය කිරීමටත් , වඩා හොඳ ආහාර සුරක්ෂිතතාවක් ඇති කර ගැනීමටත් හැකිවනු ඇතැයි එතුමා විශ්වාසය පළ කළේය.

    ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන ශ්‍රි ලංකාවට සපයන තාක්ෂණික සහාය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය. සෙසු ගෝලීය සංවිධාන සහ විද්‍යාත්මක ආයතනවලින් ලැබෙන සහාය සම්බන්ධයෙන් ද එතුමා සිය කෘතඳතාව පළ කළේය. තම රටේ ජනතාවට හා පෘථිවියට යහපත් අනාගතයක් සහතික කිරීම සියලු රාජ්‍ය නායකයන්ගේ අරමුණ විය යුතුය එහිදි මුහුණ දීමට සිදු වන ගෝලීය අභියෝගවලට විසඳුම් සෙවීමට සියලු දෙනා එක් විය යුතු බව ජනාධිපතිතුමා පැවසීය. මිනිසාගේ මෙන්ම පෘථිවියේ සෞඛ්‍ය යහපත් ලෙස පෝෂණය කළ හැකි පරිදි ගෝලීය ආහාර පද්ධති පරිවර්තනය කිරීමට එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව මග හෙලි කරනු ඇතැයි එතුමා විශ්වාසය පළ කළේය.

    Latest News