අපගේ ජාතික මෙහෙවරට අදට වසර 37ක් ...

පෙබ 14, 2019

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරම්භ කර අදට වසර 37ක් සපිරෙනවා.

    ශ්‍රව්‍ය දෘශ්‍ය සම්ප්‍රදායේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව ලොවට ගෙනයමින්, ජාතික රූපවාහිනිය ඉටුකරන යුග මෙහෙවර, එද මෙන්ම, අදත් ජනතා සම්භාවනාවට පාත්‍ර වනවා. පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශ ආරම්භ කෙරුණේ 1982 පෙබරවාරි 15 වැනිදායි. මෙය ජපාන රජයේ පරිත්‍යාගයක්. මෙරට රූපවාහිනී ක්ෂේත්‍රයේ පුරෝගාමියා වෙමින්, ඒ සඳහා උසස් ප්‍රමිතියක් සහ කලාත්මක පරිසමාප්තියක් හඳුන්වා දුන්නේ, ජාතික රූපවාහිනියයි. ශ්‍රී ලංකාවේ නිල විද්‍යුත් සන්නිවේදකයා ලෙස සමාජ ප්‍රගමනය උදෙසා පැවරෙන සියලු වගකීම් නොපිරිහෙලා ඉටුකිරීමට රූපවාහිනී සංස්ථාව නිරන්තරයෙන් කැපවී සිටිනවා.

    ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ ඉහළ රසඥතාව වෙනුවෙන් ජාතික රූපවාහිනිය, චැනල් අයි සහ නේත්‍රා යනුවෙන්, වැඩසටහන් නාලිකා තුනක් රූපවාහිනී සංස්ථාව සතුයි. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම, වැඩසටහන් සජීව විකාශයන්හි නියමුවා මෙන්ම, ප්‍රමුඛයා බවට පත්ව සිටීම කැපීපෙනෙනවා. ජන කොටස් අතර අන්‍යන්‍ය ගෞරවයා, සබඳතාව හා විශ්වාසය ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන්, ජාතික රූපවාහිනිය රටේ සංහිඳියා ක්‍රියාවලිය වෙනුවෙන් ඉටු කරමින් සිටින්නේ, සුවිශේෂී මෙහෙවරක්. ඒ අනවබෝධය නිසා බිඳී ගිය සිත් සුවපත් කිරීමේ අරමුණෙන්. දිවයිනේ වැඩිම ආවරණ කලාපයක් හිමි සන්නිවේදකයා වන්නේ ද ජාතික රූපවාහිනියයි.

    නවීන තාක්ෂණයෙන් පිරිපුන්, ජාතිය  සතු වටිනාම සම්පත නිර්මාණශිලී, නිසග හැකියාවන්ගෙන් පිරිපුන් නිෂ්පාදකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයයි. දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබ ඇති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ප්‍රේක්ෂකයන්ට එදා මෙදා මෙන්ම මතුදා ද තිළිණ කරන්නේ හරවත් වැඩසටහන්. ඒ වෙනස්වන සමාජයට අනුගත වෙමින්. එහෙත්, සංස්කෘතිය හා සම්ප්‍රදාය නොබිඳිමින් ජාතික රූපවාහිනිය සාර්ථක ඉදිරි ගමනක නිරතව සිටියි. ඒ පැවරී ඇති සියලු ජාතික වගකීම් නොපිරිහෙළා ඉටු කරමින්.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 පෙබරවාරි 2019 14:42

    Latest News