අරගලකරුවන් පිරිසක් ජාතික රූපවාහිනියට පැමිණෙයි

ජූලි 13, 2022

    අරගලකරුවන් පිරිසක් අද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට පැමිණියා.  ඔවුන් සටන්පාඨ කියමින් කියා සිටියේ, රූපවාහිනී සංස්ථාව මෙතැන් සිට ජනතාව සතු වියයුතු බවයි. 

    රූපවාහිනී සංස්ථාවේ ප්‍රධානියෙකු හමුවීමට අවශ්‍ය බව කියා සිටි අරගලයේ නිරත උද්ඝෝෂකයන්ට ප්‍රතිචාර දක්වමින් සේවයේ නියුතු කාර්යභාර නිලධාරියා හමුවී සාකච්ඡා කිරීමේ අවස්ථාව ඔවුන්ට සලසා දෙනු ලැබුවා.

    අරගලකරුවන් කිහිපදෙනෙකුට සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමට ආරක්‍ෂක රාජකාරියේ නියුතු යුද හමුදා නිලධාරීන් අවසර ලබා දුන්නේ ඒ අනුවයි.  සංස්ථා කාර්ය භාර නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය සමග අදහස් හුවමාරු කර ගැනීමෙන් පසු, ඔවුන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් විශේෂ ප්‍රවෘත්ති ප්‍රකාශයක් ඔස්සේ ඔවුන්ගේ පණිවුඩය ජනතාව වෙත ගෙනයාමටද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අවස්ථාව සලසා දුන්නා. 

    අනතුරුව රූපවාහිනී ආලින්දය වෙත පැමිණි අරගලකරුවන්ට දවසේ වැඩසටහන් පෙළගැස්ම නිරීක්‍ෂණය කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කළා.  ඔවුන් කියා සිටියේ, එය තමන්ට අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමට වුවමනා බවයි. 

    ඊට ප්‍රතිචාර දක්වමින් රූපවාහිනී සංස්ථා කාර්ය මණ්ඩලය අනුග්‍රහක වැඩසටහන් පවතින බැවින් එය ඒ ආකාරයෙන්ම වෙනස් කිරීමට නොහැකි බව දැනුම් දුන්නා.   අනතුරුව, කොළඹ පැවැත්වෙන ජනතා අරගලයේ දර්ශන අඛණ්ඩව රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වියයුතු බව ඔවුන් කියා සිටියා. 

    එම කථාබහෙන් අනතුරුව ජාතික රූපවාහිනී නාලිකාවේ විකාශන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණු අතර, අරගලකරුවන්ද සංස්ථා පරිශ්‍රයෙන් පිටව ගියා. 

                        

    Latest News