චම්පික රණවකගේ නඩුවක් කැඳවීමට දින නියම වෙයි

අගෝ 02, 2021

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 15 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    ඒ, 2016 වසරේ තරුණයෙකු බරපතල රිය අනතුරකට ලක් කොට ඊට අදාළ කරුණු වසන් කර අසත්‍ය සාක්ෂි ගෙතීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනි.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා, ඔහුගේ රියදුරු වශයෙන් සේවය කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සහ වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.

    එහිදී විත්තිකාර සුදත් අස්මඩල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කිරීමට නියමිත පරිගණක සාක්ෂි පරික්ෂා කිරීම සඳහා ප්‍රවේශය ලබා දෙන ලෙස නීතිපතිවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි සඳහන් කළා.

    එහෙත් ඒ සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් උපදෙස් ලැබී නොමැති බවයි රජයේ නීතිඥවරයා සඳහන් කළේ.

    ඒ අනුව පරිගණක සාක්ෂි ප්‍රවේශය සම්බන්ධයෙන් පැමිණිල්ලේ සහ විත්තිය අතර එකඟතාවයක් ඇති නොවන්නේ නම් තමන් මීළඟ නඩු දිනයේ එම සාක්ෂි පරික්ෂා කිරීම සඳහා විත්තිය වෙත දිනයක් ලබා දීමට කටයුතු කරන බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළා.

    මෙම නඩුව දිගින් දිගටම විභාගයට නොගෙන කල් යාම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

    එමෙන්ම මෙම නඩුවේ නඩු භාණ්ඩයක් වශයෙන් නම් කර තිබෙන අනතුර සිදුවන අවස්ථාවේ විත්තිකාර පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා විසින් පැදවූ බව චෝදනා එල්ලවී ඇති ඩබ්ලිව්. පී. කේ. ටී. 7545 දරණ ජිප් රථය මෙම අවස්ථාවේ කවුරුන් භාරයේ තිබේද? එය අධිකරණයට ඉදිරිපත් කළ යුත්තේ කවුරුන්ද? යන්න පිළිබඳව සොයා බලා මීළඟ නඩු දිනය ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් පැමිණිල්ලට නියම කළා.

    2016 වසරේ පෙබරවාරි මස 28 වනදා වැලිකඩ පොලිස් වසම තුළ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා සංදීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයකුට බරපතළ තුවාල සිදුකර ඊට අදාළ කරුණු වසන් කිරීම , අසත්‍ය සාක්ෂි ගෙතීම, විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා නීත්‍යානුකූලව දඬුවම් ලැබීම වැළැක්වීමේ අරමුණින් අසත්‍ය කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

    Latest News