රවි කරුණානායකට පැවරූ නඩුවකට දින නියම වෙයි

අගෝ 02, 2021

    හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට අල්ලස් කොමිසම පැවරූ නඩුවක් විභාගයට දින නියම වෙයි.

    හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවක් සාක්ෂි විභාගය සඳහා සැප්තැම්බර් මස 6 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විනිසුරුවරයා විසින් මෙම නඩුව සැප්තැම්බර් මස 6 වන දා විභාගයට ගැනීමට දින නියම කළ අතර එදින නඩුවේ දෙවන සාක්ෂිකරුට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කළා.

    මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.

    මෙහිදී විත්තිකාර රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් එම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කිරීමට නියමිත පරිගණක සාක්ෂි පරික්ෂා කිරීමට අවශ්‍ය ප්‍රවේශය ලබා දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළා.

    එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙම නඩුව දිනෙන් දින කල් යාම වලක්වා ගැනීම සඳහා එම ඉල්ලීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

    ඒ අනුව පරිගණක සාක්ෂි පරීක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රවේශය ලබා දෙන ලෙස නියම කළ විනිසුරුවරයා නඩුව විභාගය සඳහා දින නියම කළා.

    2016 වසරේ පෙබරවාරි මස 12 වනදා සහ එම වසරේ සැප්තැම්බර් මස 30 වන දා දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් මෙම නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ "මොනාර්ක් නිවාස සංකීර්ණයේ" පිහිටි අංක 5 PH2 දරන නිවසේ පදිංචිව සිටීම තුළින් අල්ලස් පනතේ 19 (ඇ) වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත එම අධිචෝදනා පත්‍රය තුළින් චෝදනා එල්ල කර තිබේ.

    එම නිවස සඳහා විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගම සහ පර්පචුවල් කැපිටල් සමාගමේ චෙක්පත්වලින් රුපියල් මිලියන 11.68 ක මුදලක් ගෙවා ඇති බවද එම චෝදනාවල සඳහන් වේ.

    එම ක්‍රියාවලිය සඳහා ආධාර අනුබල දීම තුළින් මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිවද අල්ලස් පනතේ 19(ඇ) වගන්තිය යටතේ වරදක් සිදුකර ඇතැයි අධි චෝදනා එල්ල කර ඇත.

    මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනුකර තිබෙන සමස්ත අධිචෝදනා සංඛ්‍යාව හයකි.

    නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 32 දෙනෙකු නම් කරනු ලැබ සිටිති. නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 58 ක් ඉදිරිපත් කර තිබේ.

    Latest News