චම්පිකට එරෙහි විදේශ ගමන් තහනම තාවකාලිකව අත්හිටුවේ

ඔක් 10, 2022

    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු අනතුරට ලක් කොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන වසරේ මාර්තු මස 17 වනදා තෙක් අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට රජයේ වගකීම් සමුදායක් පැවරි ඇති හෙයින් මීළඟ නඩු දිනය තෙක් දැනට නිකුත් කර තිබෙන විදේශ ගමන් තහනම අත් හිටුවන ලෙස ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා විරෝධය පළ කළේ නැහැ.

    ඒ අනුව චම්පික රණවක මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම මාර්තු මස 17 වනදා තෙක් අත්හිටුවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා ඇතුළු ගුවන් ගමන් බලධාරීන් වෙත දැනුම් දෙන ලෙස නියෝග කළා.

    මේ කාල සීමාව තුළ චම්පික රණවක මහතාට විදේශගතවීම සඳහා අවසර ලැබෙන බව සඳහන් කළ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තිබේ නම් ඔහු වෙත මුදාහැරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කර සිටියා..

    ඒ අනුව නඩුව මාර්තු මස 20 වනදා කැඳවීමට ද නියෝග කෙරුණා.

    2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජිප් රථයක් මඟින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතළ අනතුරක් සිදු කිරීම, බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16 ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

    Latest News