හිටපු ඇමැති පාඨලී ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි

මාර් 28, 2022

    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් ගත් තරුණයකු බරපතල රිය අනතුරකට ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 19 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    2016 වසරේ පෙබරවාරි මස 28 වනදා සිදු වූ මෙම රිය අනතුර පිළිබඳව පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව පොලිස් ස්ථානාධිපතිවරු දෙදෙනෙකු විසින් විමර්ශන පවත්වා ඊට අදාළ වාර්තා හතරක් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බව පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වෙනවා.

    එම පරීක්ෂණ වාර්තා පදනම් කරගෙන වාහනය පැදවූ රියදුරා මහේස්ත්‍රාත් අධිකරණය විසින් හඳුනාගත් බවත් එහි පෙන්වා දී තිබෙනවා.

    එසේ තිබියදී නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා පත්‍ර ගොනු කිරීම නීතියට පටහැනි බවයි ඔහු සිය පෙත්සමෙන් සඳහන් කොට තිබෙන්නේ.

    මෙම අධිචෝදනා පත්‍රය පවරා පවත්වාගෙන යා නොහැකි බවට සිය නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කළ බවද චම්පික රණවක මහතා පෙත්සමෙන් සඳහන් කරනවා.

    ඉන් අනතුරුව නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට තීරණය කළ බවද එහි සඳහන් වෙනවා

    මහාධිකරණ විනිසුරුවරයාගේ මෙම තීරණය නීතිවිරෝධී බැවින් මහාධිකරණ නඩු විභාගය අත්හිටූවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    ඊට අමතරව තමන්ව අදාළ චෝදනාවලින් නිදහස් කරන ලෙස ද ඔහු සිය පෙත්සම හරහා අධිකරණයෙන් වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News