චම්පික රණවක මහතාට එරෙහි නඩුවක් විභාගයට දින නියම වෙයි

ජූනි 17, 2022

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ දේශන ඉදිරිපත් කිරීම සඳහා එම නඩුව ලබන 27 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.



    ඒ, 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු අනතුරට ලක් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණය නාමල් බලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට සාධාරණ නඩු විභාගයක් පවත්වා ගෙන යාම සඳහා තවදුරටත් ලේඛන පැමිණිල්ල වෙතින් අපේක්ෂා කරන බව සඳහන් කළා.

    ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ පැමිණිල්ල විසින් ලබාදිය යුතු ලේඛන රැසක් දැනටමත් විත්තිය වෙත ලබාදී ඇති බවයි.

    විත්තිය විසින් ඉල්ලා සිටින ඇතැම් ලේඛන පැමිණිල්ලට පවා සොයා ගැනීම අපහසු බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කෙසේ වෙතත් ලබාදිය හැකි ලේඛන තිබේ නම් ඒවා ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බව දන්වා සිටියා.

    ඉන් අනතුරුව වෙත චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ චෝදනා පත්‍රය කියවා දීමට පෙර ඒ සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දන්වා සිටියා.

    ඒ අනුව අදාළ මූලික විරෝධතාව පිළිබඳ දේශන ලබන 27 වනදා ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා නියෝග කලා.

    2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයකු බරපතල රිය අනතුරකට ලක් කිරීම සම්බන්ධයෙන් චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.

    Latest News