'මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් ගැන කඩිනම් පරිසර විද්‍යාත්මක වාර්තාවක්'

ජූනි 08, 2021

    මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි සමාලෝචනය කර ඒ පිළිබඳව පරිසර විද්‍යාත්මක ඇගයීම් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන්නැයි, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අධිවේගී මාර්ග ව්‍යාප්තිය භාර නිලධාරීන්ට උපදෙස් දෙයි.

    අධිවේගී මාර්ගයේ හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යට වූ බවට ජනතාව මතුකරන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මහා මාර්ග අමාත්‍යාංශයේ අද (8) පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

    ගම්පහ ප්‍රදේශය පෙර නොවූ පරිදි ගංවතුර තත්ත්වයකට මුහුණ දීමට හේතු වූයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් ඇති වූ සාකච්ජාවේදී ඊට හේතු වූ කරුණු ගණනාවක් ද අනාවරණය විය.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ සැලැස්ම යළි සමාලෝචනය කර පරිසර විද්‍යාත්මක ඇගයීම් වාර්තාවක් කිරීම අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරුණු අතර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වයට හේතු වූ කරුණු විමර්ශනය කර වාර්තාවක් සැකසීම සඳහා ඒකාබද්ධ කමිටුවක් ද පත් කෙරිණ.

    ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කළ අතර ඊට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේත් මහා මාර්ග දෙපාර්තමේන්තුවේත් නිලධාරීන් ඇතුළත්වේ. දින හතරක් ඇතුළත මෙම වාර්තා ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    කෙටිම කාලයක් තුළ වැඩිම වර්ෂාපතනයක් ගම්පහ දිස්ත්‍රික්කයට වාර්තා වූයේ මෙවර බවත් එය මිලිලීටර් 250 ත් 300 ත් අතර වූ බවත් මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.

    මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී සකස් කොට ඇති නියාමන මාර්ග හා සේවා සැපයුම් මාර්ග නිසි සැලසුමකට ඉදි නොකිරීම සහ ඊට අදාළ ජලය බැසයාමේ කාණු පද්ධතිය නිසි පරිදි ඉදිනොකිරීමත් ගම්පහ නගරය ඇතුළු ප්‍රදේශවල ජල ගැලීම් ඇති වීමට හේතුවක්ව ඇති බව රැස්වීමට සහභාගි වූ පාර්ලිමේන්තු මැති ඇමතිවරු පෙන්වා දුන්නේය.

    වසර 50 කට අධික කාලයක් ගංවතුරෙන් යට නොවුණු ප්‍රදේශ පවා මෙවර ගංවතුරෙන් යටවී තිබේ.

    ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතිවීම සඳහා හේතු වූ කරුණු සියල්ලම සැලකිල්ලට ගනිමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ සැලසුම් පිළිබඳව නැවත නිසි අධ්‍යයනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බවත් ගම්පහ දිස්ත්‍රික්කය පුරා පවතින ඇළවේලි කාණු පද්ධති පිරිසිදු කොට පිළිසකර කිරීමේ වැඩපිළිවෙල නැවත ආරම්භ කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

    ජනතාව පීඩාවට පත්වන ආකාරයට අධිවේගී මාර්ග ඉදිකිරීම් හෝ වෙනත් සංවර්ධන කටයුතු සිදු කිරීමෙන් ඵලක් නොවන බව ද මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී අවධාරණය කළේය.

    මෙහිදී අදහස් දැක් වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ වසර ගණනාවක් පුරාවට තමන් ජීවත් වූ පරිසරය සහ ඔවුන්ගේ ජීවන ක්‍රමයට හානියක් නොවන ආකාරයට අධිවේගී මාර්ග සහ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කළ යුතු බවයි.

    ගම්පහ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් පැවැති දීර්ඝ සාකච්ඡාවේදී තීරණය වූයේ අවශ්‍ය ජනතාව පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය වුවහොත් අධිවේගී මාර්ගයේ සැලසුම් වෙනස් කිරීමකට වුවද පියවර ගන්නා බවයි.

    ඒ අනුව ගංවතුර පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස අධිවේගී මාර්ගය සැලසුම් නැවත අධ්‍යයනය කොට ඊට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා....

    පසුගිය වැසි සමයන් වල අවස්ථා දෙකකදී ගම්පහ නගරය ගංවතුරෙන් යට වුණා. ඒකට හේතුව වෙලා තියෙන්නේ අධිවේගී මාර්ගය ඉදි කිරීම සහ දුම්රිය මාර්ගය ගැටෙන ස්ථාන වල පවතින තත්වයන්. ඒ වගේම අපි දන්නවා කෙටි කාලසීමාවක් තුළ අධික වර්ෂාපතනයක් පතිත වීමත් මේකට එක හේතුවක් වෙලා තියනවා.

    බැසිල් රාජපක්ෂ මහතා දිස්ත්‍රික් නායකයා වශයෙන් ඉන්නකොට ඇළි වේලි මීට අවුරුදු පහළොවකට කලින් පිළිසකර කලා . නමුත් ඊට පසුව අද වෙනතුරු කිසි කෙනෙක් ඒ සම්බන්ධව අවධානය යොමු කරල නැහැ. පවතින තත්වය තුළ ගම්පහ අධිවේගී මාර්ගය සැලසුම් සම්බන්ධයෙන් නැවත අධ්‍යනයක් කරන්න අද තීරණය වුණා.

    2015ට පෙර මධ්‍යම අධිවේගී මාර්ගය සැලසුම් සකස් කරලා තිබුණේ කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් වශයෙන්. මහින්ද රාජපක්ෂ රජය සමයේ කණු මතින් ඉදිවෙන මාර්ගයක් වශයෙන් මේ අධිවේගී මාර්ගය සැලසුම් කර තිබුනත් පසුගිය රජය සැලසුම් වෙනස් කලා. සැලසුම් කල පරිදි ඉදිකිරීම් සිදුවුනානම් ගංවතුර ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. නමුත් යහපාලන ආණ්ඩුව කාලේ වියදම අඩුකරන්න මාර්ගය පස්වලින් පුරවා සකස් කරන්න කටයුතු කරලා තිබුණා. ඒ නිසා දැන් ඇතිවෙලා තියෙන තත්ත්වය පිළිබඳව තාක්ෂණික වශයෙන් නැවත සලකා බැලීමට අපි තීරණය කළා. ඒවගේම අවහිර වුනු ඇළවේලි බෝක්කු සම්බන්ධයෙන් සොයා බලලා ජනතාවට හානියක් කරදරයක් නොවන ආකාරයට මේ අධිවේගී මාර්ගය ඉදි කිරීම් සිදුකල යුතුයි කියන මතයේ අපි ඉන්නවා.

    ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මේ තත්ත්වයෙන් මුදවා ගැනීම අවශ්‍ය සියලු කටයුතු අපි සිදු කරනවා. ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් ඉතාමත්ම කෙටි කාලයක් තුළදී මධ්‍යම අධිවේගී මාර්ගය සැලසුම් නැවත අධ්‍යයනය කිරීම සිදු කෙරෙනවා.

    Latest News