ජාතික රූපවාහිනිය ගැන සති අන්ත “රාවයේ“ අසත්‍ය ප්‍රවෘත්තියක්

ඔක් 18, 2019

    එක්සත් ජාතික පක්‍ෂ සමුළුව ජාතික රූපවාහිනියෙන් විකාශය කිරීම පිළිබඳව මෙවර සති අන්ත “රාවය“ පුවත්පත අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කොට තිබේ.

    කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියු “රාවය“ පුවත්පත පාඨකයන් නොමඟ යවන සුළු ප්‍රවෘත්තියක් පළ කර තිබීම මාධ්‍ය අචාර ධර්මවලට ද පටහැනිය. එම සම්මේලනයේ කොටසක් යළි විකාශය කරනු ලැබුවේ, මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි. ඊට මැතිවරණ කොමිෂන් සභාවේ නීති විමර්ශන අංශයේ අතිරේක මැතිවරණ කොමසාරිස්වරයාගේ ද අනුමැතිය ලැබී තිබේ. අදාළ දර්ශන ඇතුළත් කොටස විකාශය කරන ලද්දේ, මුදල් ගෙවීමෙන් අනතුරුවයි. මෙමගින් සංස්ථාවට කිසිදු මූල්‍යමය පාඩුවක් සිදුවී නැත. ඔක්තෝබර් 20 වැනි දිනෙන් යුතුව පළ කරන ලද “රාවය“ පුවත්පතේ මුල් පිටුවේ සඳහන්ව ඇත්තේ “සැළලිහිණියාගෙන් එජාප සමුළුවට තවත් පැයක්“ නමැති ප්‍රවෘත්තියයි.

    එම ප්‍රවෘත්තිය මගින් මුළුමනින්ම පාඨකයා නොමඟ යවමින් තම දේශපාලන අභිමතාර්ථ ඉටුකර ගැනීමට ජාතික රූපවාහිනිය ද උපයෝගි කරගන්නා අයුරු ඉන් දිස්වේ. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති සම්මේලනය හදිසියේ මැතිවරණ කොමිෂන් සභාව මගින් අත්හිටවූ නිසා අදාළ වැඩසටහනට ගෙවන ලද වටිනාකමට සරිලන පරිදි පැයක ගුවන් කාලයක් ලබා දෙන්නැයි සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් කරන ලද ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභාවට යොමු කොට ඒ සඳහා ලබාගත් අවසරය මත පැයක ගුවන් කාලයක් ලබාදී තිබේ. එමගින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට මූල්‍යමය පාඩුවක් සිදු නොවූ අතර, අදාළ මුදලට වඩා වැඩි මුදලක් ලැබී ඇති බව ද සඳහන් කළ යුතුය.

    එම වැඩසටහන පසුගිය 6 වැනිදා විකාශය කරනු ලැබුවේ මැතිවරණ කොමිෂන් සභාවේ විධිමත් අනුමැතියකට යටත්වයි. රාවය පුවත්පත මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් විකෘති කොට පළ කර ඇති අතර, එහි මූලාශ පදනම් විරහිතයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වසර 37ක කාලය තුළ සිය වැඩසටහන් විකාශය කිරීමේ දී අනුගමනය කළ නිශ්චිත ක්‍රමවේදයට යටත්ව අදාළ වැඩසටහන් විකාශය කර තිබේ. ඔක්තෝබර් තුන් වැනිදා අදාළ පාර්ශ්ව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට මුදල් ගෙවා ඇති අතර, ඊට අදාළ ලදුපතක් ද නිකුත් කෙරිණ. මැතිවරණ කොමසාරිස්වරයාගේ මාධ්‍ය උපමාන ජාතික රූපවාහිනිය විධිමත් ලෙස අනුගමනය කර තිබේ. මේ අතර ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පසුගිය 3 වැනිදා සජිවි විකාශය අතරමඟ ඇනහිටීමට අදාළව විමර්ශනයක් සිදුකරනු ලබන්නේ අගතියට පත් පාර්ශවයන්ට සාධාරණයක් ඉටු කිරීමටයි.

    ජාතික මාධ්‍යයක් ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අන් කවර මාධ්‍යයකටත් වඩා ජනතාවට වගකියන අතර, ඒ සඳහා ඉතිහාසයේ ඇති නිදර්ශන බොහෝයි. සාවද්‍ය තොරතුරු මත පදනම්ව රාවය වැනි පුවත්පතක් ජාතික රූපවාහිනිය අපකීර්තියට හා අගතියට පත්කිරීම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව දැඩිව හෙළා දකී. මෙවැනි අභූත චෝදනාවලින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කීර්තිනාමයට බලපෑම් එල්ල කළ නොහැකි බව, අදාළ පාර්ශවලට අවධාරණය කළ යුතුය.

    Last modified on සිකුරාදා, 18 ඔක්තෝබර් 2019 20:01

    Latest News