ඔහු මේ බව පැවසුවේ පසුගිය 21වැනිදා වීරකැටියේ පැවති උත්සවයකදී ගිං – නිල්වලා යෝජනා ක්‍රමයට අදාළව හම්බන්තොටට ජලය රැගෙන යාම සඳහා සිංහරාජ වනාන්තරයේ වැව් 2ක් ඉදි කිරීම පිළිබඳ කළ ප්‍රකාශය පිළිබඳව සමාජ මාධ්‍ය සහ විවිධ පාර්ශවයන් තුළ නිර්මාණය වී ඇති සංවාදයන්ට ප්‍රතිචාර දක්වමිනි.
වසර 90කට වඩා දීර්ඝ ඉතිහාසයක් ඇති ගිනිකොණ ශ්‍රී ලංකාව නොහොත් මාතර දිස්ත්‍රික්කයේ එක් අන්තයක් සහිතව හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඔඩුදුවා ඇති පානීය සහ ගෘහස්ත ජල අර්බුදය මෙන්ම වාරි ජල අර්බුදයෙන් පීඩා විඳින ලක්ෂ 05කට වැඩි ප්‍රදේශවාසී ගොවි ජනතාවගේ ඉල්ලීමක් මත ගිං – නිල්වලා යෝජනා ක්‍රමය සැකසී තිබෙන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
ගිං – නිල්වලා ජල යෝජනා ක්‍රමයේ අවසන් ශක්‍යතා අධ්‍යයන වාර්තාව සැකසීමෙන් පසු සිංහරාජ රක්ෂිත සීමාවේ ඇති මාදුගැටේ ගම්මානය අසළින් ගලා බසිනා ගිං ගඟේ දකුණු ඉවුර ආශ්‍රිතව මාදුගැටේ වැව ද නිල්වලා ගඟ ආශ්‍රිතව අම්පනාගල ගම්මානය ආශ්‍රිතව අම්පනාගල වැව ද ඉදිකළ යුතු බවට ව්‍යාපෘති විශේෂඥයින් යෝජනා කර තිබුණේ ආශ්‍රිත කලාපවල ජෛව විවිධත්වයට හා ශාක සංරක්ෂණයට ප්‍රමුඛත්වය දෙමින් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
කෙසේ නමුත් 2019 වසරේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව තමන් වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස පත් වී අදාළ ව්‍යාපෘති වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ගිං ගඟේ දකුණු ඉවුරු සීමාවේ යෝජනා වී ඇති මාදුගැටේ ගම්මානය සිංහරාජ රක්ෂිත සීමාවේ පවතින බැවින් ඒ සම්බන්ධව දේශීය මට්ටමේ පරිසර ආයතන මෙන්ම ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි සිංහරාජය ලෝක උරුමයක් බවට ප්‍රකාශ කර ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UNESCO) නිර්දේශ හා නියාමනයන් විමසන ලෙසට අදාළ පාර්ශවයන්ට උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
එවැනි තත්ත්වයක් තුළ තමා ප්‍රකාශ කළේ මූලික අයිතිවාසිකමක් වන පානීය ජල ප්‍රශ්නය මෙන්ම ජාතියේ ජල මූලාශ්‍ර ආශ්‍රිත වැසි වනාන්තර සුරැකීම පිළිබඳව රජය මුහුණදෙන සැබෑ තත්ත්වය සහ වගකීම බව අමාත්‍යවරයා පවසයි.
කෙසේ නමුත් දේශීය පාරිසරික ආයතන සංවිධාන හා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන හා සංස්කෘතික සංවිධානයේ නිර්දේශ හා නියමයන්ට පරිබාහිරව ක්‍රියා නොකරන බවත් ලෝකයේ දුර්ලභ වැසි වනාන්තරයක් හා ජෛවගෝල රක්ෂිතයක් වන හෙක්ටයාර 11,187කින් යුත් සිංහරාජ වනාන්තරය ආරක්ෂා කිරීම පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ අමාත්‍යාංශයට පැහැදිලි අවබෝධයක් ඇති බව ද අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසන්නේ, ජාතික වනෝද්‍යාන හා රක්ෂිත තුළ වැව් ඉදිකිරීම දශක කිහිපයක සිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන බව ද යාල, කුමන, උඩවලව ඇතුළු ප්‍රධාන රක්ෂිත තුළ මේ වනවිටත් එවැනි වැව් ඉදිකර ඇති අතර ඒ තුළින් වන ජීවින්ගේ පානීය ජල ගැටලුව විසඳී එම සතුන් ජලය සොයා ගම්වැදීම අවම වී වන-අලි මිනිස් ගැටුම් තත්ත්වයන් පාලනය වීමක් ද අපේක්ෂා කරන බවය.
තෙත් බිම් වනාන්තර පිළිබඳ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික හා සංස්කෘතික සංවිධානය මෙන්ම ගෝලීය පරිසර සංවිධානයන් සමග අප රජයට ඇති එකඟතාවයන්ට ගරු කරමින් ජාත්‍යන්තර පරිසර සම්මුතීන් පිළිගනිමින් ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා රජය තවදුරටත් කැපවන අතරම ලෝක පරිසර සම්මුතීන් හා තෙත් බිම් ප්‍රඥප්ති සුරකිමින් සිංහරාජ වැසි වනාන්තරය ආරක්ෂා කිරීමේ මූලික වගකීම ඇත්තේ රජයට බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටී.
එහිදී පරිසරවේදීන් මෙන්ම පරිසර මාධ්‍යවේදීන්ගේ කැපවීම, අදහස් හා යෝජනා ස්තූතිපූර්වකව ලබා ගැනීමට බැඳී සිටින බව ද වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසයි.