ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදහස් කරමින් දුන් තීන්දුව අද මහාධිකරණය හමුවේ කියවා දෙයි

මාර් 15, 2021

    සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු කර සිර දඬුවම් නියම කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා ප්‍රකාශයට පත් කළ තීන්දුව අද කොළඹ මහාධිකරණය හමුවේ කියවනු ලැබීය.

    මෙම නඩුකරය අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එම අවස්ථාවේ දී අභියාචනාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කරන ලද ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    එම අවස්ථාවේදී විනිසුරුවරයා විසින් අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුව ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට කියවා දෙමින් ඔවුන් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙන බව දැනුම් දුන්නේය.

    අනතුරුවල ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ගේ විදේශ ගමන් බලපත්‍ර හා ඇප මුදල් අධිකරණය භාරයේ තිබේ නම් ඒවා අනන්‍යතාවය තහවුරු කර ගෙන ඔවුන් වෙත මුදා හරින ලෙසත් ඔවුන් වෙනුවෙන් පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කර ඇති බව ආගමන හා විගමන පාලක හා රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

    2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණ.

    එම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණය විත්තිකරුවන් දෙදෙනා එම චෝදනාවලට වරදකරු කර ඔවුන්ට වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර ඊට අමතරව රුපියල් මිලියන 50ක් බැගින් වන්දි ගෙවන ලෙසත් නියෝග කර තිබිණ.

    එම දඬුවමට එරෙහිව ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු අභියාචනාධිකරණයට අභියාචනා ඉදිරිපත් කළ අතර එම අභියාචනා විභාග කළ අභියාචනාධිකරණය ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝග කළේය.

    Latest News