පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා වන ඩිජිටල් වේදිකාව මාර්තු 26 සිට

මාර් 10, 2021

    පුර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා වන ඩිජිටල් වේදිකාව එළිදැක්වීම මාර්තු මස 26 ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසී ය.

    ඒ මහතා මේ බැව් පැවසූයේ නව රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණක්’ සඳහා වන මූලික වටයේ සාකච්ඡාවක් සඳහා සහභාගී වීමෙන් අනතුරු ව ය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා....

    "නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය නොඑසේ නම් සෞභාග්‍යයේ දැක්ම අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මූලිකත්වයක් ලබා දී තිබෙනවා. 1970 දශකයෙන් පසුව පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අපේ රටේ සිදු වී නොමැති බවයි මගේ හැඟීම. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ විෂයමාලා සංශෝධනය පමණක් නොවෙයි. දැයේ අනාගතය සැකසෙන්නේ ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීමෙන් පමණයි. රටක සංවර්ධන ක්‍රියාවලියේ ඉදිරිය රැගෙනයාමට හැකිවන්නේ එයින් පමණයි. ඒ නිසා ම අතිගරු ජනාධිපතිතුමා සහ රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වෙන ම ම රාජ්‍ය අමාත්‍යංශයක් පිහිටුවා තිබෙන්නේ. ඒ රාජ්‍ය අමාත්‍යංශයත් අධ්‍යාපන අමාත්‍යංශයත් එකතු වෙලා කෙටි කාලයක් තුළ විශාල වැඩ කොටසක් මේ වනවිට සිදුකර අවසන්.

    ඊට අමතරව මේ සඳහා කාර්යසාධන බලකා 02ක් පිහිටුවා තිබෙනවා. ඉන් එකක් තමයි කැබිනට් මණ්ඩලය මඟින් අනුමත කරන ලද අධ්‍යාපන කාර්යසාධන බලකාය. අනෙත් එක තමයි කොවිඩ් වසංගතය අතරතුර අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් උදෙසා පත්කළ ජනාධිපති කාර්යසාධන බලකාය. මේ තුළින් අතීතය, වර්තමානය සහ අනාගතය යන ත්‍රිවිධ කාලයන් ම සලකා පාසල් පද්ධතිය, විශ්වවිද්‍යාල පද්ධතිය, පෙරපාසල් පද්ධතිය, නිපුණතා සංවර්ධනය කියන සියලු ම අංශවල දරුවන් උදෙසා මෙම ප්‍රතිසංස්කරණය සිදු කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. මේ වනවිට ත් විශාල වැඩ කොටසක් ඒ වෙනුවෙන් සිදුකර අවසන්.

    එමෙන් ම ජනපතිතුමා පත්වීමට වසර ගණනාවකට පෙර එතුමා මේ ගැන විශේෂ අවධානයක් යොමු කරලා මේ ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව අනුව තමයි මෙම කටයුත්තට වෙන ම කාර්යසාධන බලකායක් පිහිටුවනු ලැබුවේ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ රට වෙනුවෙන්. රටේ විවිධ සමාජ කොටස්, පාරේ සිටින කම්කරුවාගේ සිට රටේ ජනාධිපතිවරයා දක්වා සියලු දෙනා ඇතුළත් වන පරිදි තමයි මේ කටයුත්ත සිදු වන්නේ. සාම්ප්‍රදායික ලෙස සම්මන්ත්‍රණවලින් මෙම ප්‍රතිසංස්කරණ කරනවා වෙනුවට ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කරන්නට අපි කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව මාර්තු 26වැනි දින ‍එම වේදිකාව හඳුන්වා දෙනවා. මේ හරහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ, ප්‍රතිපත්ති රාමුව, ක්‍රියාත්මක කරන ආකාරය ආදිය පිලිබඳ අදහස් යෝජනා, චෝදනා විවේචන සියල්ල ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. එම වේදිකාව මාස 03ක කාලයක් තිබෙනවා.

    අධ්‍යාපන විශේෂඥයන්, පූජ්‍ය පක්ෂය, විශ්වවිද්‍යාල ප්‍රජාව, පාසල් ප්‍රජාව, සාමාන්‍ය ජනතාව, විවිධ වෘත්තිකයන්, සංවිධාන, මාධ්‍යවේදීන් ආදී සියලු දෙනාගේ අදහස් කැටි කරලා අධ්‍යයනයකින් අනතුරුව තමයි ප්‍රතිසංස්කරණ සිදු කෙරෙන්නේ. ඒ නිසා සියලු දෙනාට ම ආරාධනා කරනවා මාර්තු 26න් පසුව ඩිජිටල් වේදිකාව හරහා මෙරට අධ්‍යාපනයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ අපට දැනුම් දෙන්න කියලා. යනුවෙන් ද පැවසී ය.

    මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන රාජ්‍ය ලේකම් ආචාර්ය එම්. උපාලි සේදර, අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (වැ.බ.)අධ්‍යක්ෂ ප්‍රභාත් විතානගේ, ආචාර්ය නාලක හේවාමද්දුම, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර, රාජ්‍ය මාත්‍යංශ මාධ්‍ය ලේකම්වරු වන සංජක ප්‍රසාද් දොලේවත්ත, උදේශ් ඉන්දුල මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    Latest News