දරුවන්ට ආතතිය නැති කරන සතිපාසල් වැඩසටහන

පෙබ 03, 2021

    සෑම දරුවෙකුගේ ම ශාරීරික සෞඛ්‍ය හා පෝෂණය ඉතා වැදගත් වන බවත්, එහෙත් ඒ සියල්ලට ම වඩා දරුවා ආතතියෙන් තොරව, මානසික සුවයෙන් සිටීම අතිශයින් වැදගත් බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේ ය.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අතිපූජ්‍ය උඩඊරියගම ධම්මවිජය ස්වාමීන්වහන්සේගේ සංකල්පයක් අනුව සති පාසල වැඩසටහන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් විෂයමාලාවට හඳුන්වාදීම වෙනුවෙන් අද (03) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයට එක්වෙමිනි.

    මානසික සෞඛ්‍යය නගාසිටුවීම වෙනුවෙන් බොහෝ ලතින් ඇමරිකාව යුරෝපය ඇතුළු බොහෝ රටවල අයවැයෙන් විශාල මුදලක් වෙන් කරන බව ද එය ඒ රටවල අත්‍යවශ්‍ය වෙන්කිරීමක් බව ද, පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා මෙරට පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතියට ද ප්‍රායෝගික නැඹුරුවක් සහිත ව මානසික සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම කාලීන අවශ්‍යතාවක් වන බව ද සඳහන් ක‍ළේය.

    වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා, “පීඩනය සමාජයීය ප්‍රශ්නයක්. ඒ නිසා තමයි අපේ විශ්වවිද්‍යාලවල, පාසල්වල විෂයක් හැටියට සතිමත්භාවය එකතු කරන්නට සැලසුම් කළේ. නීතියෙන් දඩුවම් දීමෙන් පමණක් සමාජ ගැටළු විසඳන්නට බැහැ. වැරදිකරන්නට බය සමාජය තුළ ඇතිකරලා නීතියේ ස්වාධිපත්‍යය රැකගන්නට හැකිවේවියැයි සිතා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නට එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කොට තිබුණා. එහෙත් එය ක්‍රියාත්මක කරන්නට ඉඩ ලැබුණේ නැහැ.. යැයි ද පැවසීය.

    මනසෙහි ඇතුළාන්තය තුළ පවතින ව්‍යාකූලතාවය නිරාකරණය කිරීමට කල්පවතින තිරසාර විසඳුමක් අවශ්‍ය වන බව ද, එය දරුවාගේ මනස හැදෙන වැඩෙන සමයේ දී ම ආරම්භ කළ යුත්තක් බව ද, අලුත් අදහස් උදහස්වලට සංකල්පවලට විවෘත මනසක් ඇතිකරමින් එළඹි සිහිය පිහිටුවා ගැනීමෙහි වැදගත්කම දරුවන්ට අවබෝධකර දිය යුතු බව ද, අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. එමෙන් ම මෙම වැඩසටහන සමස්ත අධ්‍යාපන පද්ධතිය වෙත ප්‍රවේශ කරවිමේ දී පැනනැඟිය හැකි මූල්‍ය දුෂ්කරතා සම්බන්ධයෙන් සුදුසු ක්‍රමවේද ඉදිරයේ දී සොයා බැලිය යුතු බව ද මේ වැඩපිළිවෙළ නාම මාත්‍රයට සීමා නොකර වැඩසටහනේ සුපිරි ඵල දරුවන්ගේ ජීවිතවලට සෘජුව සම්බන්ධ වන අයුරින් අඛණ්ඩව පවත්වාගෙන යායුතු බව ද, ඒ සඳහා ඉදිරියේ දී අවශ්‍ය වුවහොත් කැබිනට් පත්‍රිකාවක් මේ සම්බන්ධයෙන් ඉදරිපත් කිරීමට වුව ද තමා සූදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

    මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, සති පාසල පදනමේ නියෝජිත ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මනෝ වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන් රැසක් ද අතිරේක අධ්‍යාපන ලේකම් එම් එල් ඩී ධර්මසේන, මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

    Latest News