icc

ගම සමඟ පිළිසඳර - වැඩ සමඟ යළි ගමට යථාර්ථයක්වන ජාතික සම්බන්ධීකරණ අනු කමිටු පිහිටුවයි (වීඩියෝ)

පෙබ 03, 2021
  • ගම සමඟ පිළිසඳර - වැඩ සමඟ යළි ගමට වැඩසටහන හා 2021 අය-වැය යෝජනා යථාර්ථයක්වන ජාතික සම්බන්ධීකරණ අනු කමිටු පිහිටුවීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම ජාතික සම්බන්ධීකරණ අනු කමිටු සඳහා සියලුම කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළත්ය.

    ප්‍රාදේශීය සංවර්ධනයට නව ප්‍රවේශයක් සඳහා කෘෂිකාර්මික අනු කමිටුව, ජීවනෝපාය අනු කමිටුව, යටිතල පහසුකම් අනු කමිටුව, සමාජ යටිතල පහසුකම් අනු කමිටුව සහ සමාජ ආරක්ෂාව හා සමාජ සංවර්ධන අනු කමිටුව ලෙස ජාතික සම්බන්ධීකරණ අනු කමිටු 5ක් පිහිටුවා ඇත. ඒ එක් එක් කමිටු සඳහා විෂයන්ට අදාළවන සේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත්කර තිබීම මෙහි විශේෂත්වයකි.

    ජාතික සම්බන්ධීකරණ කමිටුව, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව, ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හා ග්‍රාමීය කමිටුව ලෙස ඉහළ සිට පහළට තීරණ ගලා යාමත්, පහළ සිට ඉහළට අදහස් හා යෝජනා ගලා යාමත් සිදුවන වන ලෙස සකස් වී ඇති බව බැසිල් රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට එක්ව සිටි කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ට පෙන්වා දුන්නේය.

    ගම සමඟ පිළිසඳර අප විරුද්ධ පක්ෂයේ සිටින කාලයේ සිටයි ක්‍රියාත්මක කළා. ඒ කාලයේ අපි ගමේ අඩුපාඩු හදුනාගත්තත් ඒ සඳහා රාජ්‍ය නිලධාරී තන්ත්‍රය සහභාගි කරගන්න බැරි වුණා. නමුත් මුළු රට තුළම එම වැඩසටහන අතිගරු ජනාධිපති ගෝඨාය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දැන් ක්‍රියාත්මක වෙනවා.

    ඔබ දන්නවා මේ රටේ ග්‍රාමසේවක වසම් 14000ක් තියෙනවා. ගම් 36000ක් තියෙනවා. ඒ කටයුත්තත අප ඉදිරියට ගෙනයාමට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ඔස්සේ කටයුතු කළ යුතුයි. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට මහජන නියෝජිතයන් පත්කිරීම ප්‍රමාදවීම නිසා මේ කටයුත්ත බොහෝවෙලාවට සිදුවුණේ ප්‍රාදේශිය ලේකම් හෝ නිලධාරින් අතින්. ඒ නිසා පසුපෙළ මන්ත්‍රීවරුන්ට වගේම ඔබටත් ගම හා ආසනයේ කටයුතු කිරීමේදී ඊට සම්බන්ධවීමේ ක්‍රමවේදයක් තිබුණෙ නැහැ. ඒ නිසා ඇතැම් වෙලාවට ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘතිවලට දේශපාලන නායකත්වය නොලැබී ගියා.

    උතුරු හා නැගෙනහිර හැර රටේ සෑම ප්‍රදේශයකම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පත්කර අවසන්. ආණ්ඩු පක්ෂ තීන්දුවට අනුව ඒවායේ සභාපතිධූර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් ලබා දී තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී අමාත්‍යංශ ඔස්සේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඔස්සේ ඒවා ක්‍රියාත්මක කිරීම අවශ්‍යයයි. ඒ සඳහා අද පිහිටුවන මෙම ජාතික සම්බන්ධීකරණ අනු කමිටුවල නායකත්වය හා උපදෙස් ක්‍රියාත්මක විය යුතුයි. ඉදිරියේදී අමාත්‍යංශ මට්ටමෙන් සිදුවන ඉල්ලීම් හෝ චක්‍රලේඛ ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සභාපතිට සෘජුව යොමු කරන්නැයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

    දුප්පත්කම හේතුවෙන් නිවස ළඟට විදුලිය තිබුණද, ජලය තිබුණද ගත නොහැකිව පීඩාවට පත් සීමිත පිරිසක් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

    මුලදි විදුලිය නොමැති නිවාස 35000ක් හඳුනාගත්ත ද එය 125000ක් පමණ වනබව ගණන් බලා ඇතැයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය. එහිදී ලබන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර දැනට විදුලිය සහ ජල සැපයුම නොමැති සියලුම නිවාසවලට එම සැපයුම ලබාදීමට ක්‍රියා කරමු යැයි බැසිල් රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට සියලුම කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරු මෙහි දී එකඟත්වය පළ කළහ. විදුලිය සහ ජල පහසුකම් නොමැති නිවාස හඳුනාගෙන ඒ සඳහා ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර විසඳුම් දීම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාගේ වගකීම බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය. ඒ සඳහා සමෘද්ධි අරමුදල් ඇතුළු රජයේ ප්‍රතිපාදන යොදාගත හැකි බව ද හෙතම පෙන්වා දුන්නේය.

    Last modified on බදාදා, 03 පෙබරවාරි 2021 22:28

    Latest News