මරණ දඬුවම නියව සිටින ප්‍රේමලාල් ජයසේකරගේ අභියාචන විභාගය ජූනි 16

පෙබ 03, 2021

    තමන්ට නියම කර ඇති මරණීය දණ්ඩනයෙන් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීම සඳහා දින නියම කෙරේ.

    රත්නපුර මහාධිකරණය මගින් තමන්ට නියම කරනු ලැබූ මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස්කකොට නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනය ජුනි මස 16 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළා.

    මෙම අභියාචනය අද(03) නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ අභියාචනය විභාගය සදහා ජුනි මස 16 වනදා කැඳවන ලෙසයි.

    කෙසේවෙතත් මෙම නඩුවට අදාළ ලිඛිත දේශන මාර්තු මස 22 වනදා ඉදිරිපත් කරන ලෙස අධිකරණය පෙත්සම්කාර පාර්ශවය ට නියම කලා.

    එමෙන්ම නීතිපතිවරයාගේ ලිඛිත දේශන අප්‍රේල් මස 29 දා ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණා.

    2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ සිදුවූ මිනීමැරීමේ සිද්ධියකට වරදකරු කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට රත්නපුර මහාධිකරණය මගින් ඉකුත් වසරේ ජුලි මස 31 වන දා මරණීය දණ්ඩනය නියම කළා.

    එම දඩුවමෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News