ඉරානය සමඟ ආර්ථික සහයෝගීතාව ඉහළ නංවන ලෙස විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

සැප් 09, 2021

    වැඩි දියුණු කළ ද්විපාර්ශ්වික වෙළෙඳාම, ආයෝජනය සහ සංචාරක කර්මාන්තය සහ බලශක්තිය වැනි නව අංශවලසහයෝගීතා විභවයන් ඇතුළත් පුළුල් ආර්ථික සහයෝගීතාවයක් ඉරානය සමඟ ලබා දෙන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ඉල්ලා සිටියේය.

    ඊයේ (08) විදේශ අමාත්‍යාංශයේ දී ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති හෂෙම් අෂාසාදේ මැතිතුමා හමුවූ අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේය.

    සාකච්ඡාව ආරම්භයේ දී, පෞරාණික හා ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාර දෙකක අභිමානවත් උරුමයක් හිමි ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින දිගු කාලීන මිත්‍ර සබඳතා පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා අවධාරණය කළේය. මෑත වසරවල දී, ද්විපාර්ශ්වික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර තලයේ ද සමීප සහයෝගීතාවය සහ සම්බන්ධීකරණය සඳහා දායක වූ ඉහළ පෙළේ සංචාරයන් හුවමාරු කර ගැනීම තුළින් මෙම ද්විපාර්ශ්වික සබඳතා යළි ප්‍රාණවත් වී තිබේ.

    ජිනීවා හි පැවති මානව හිමිකම් සැසිවාරයේ දී සහ අනෙකුත් බහුපාර්ශ්වික වේදිකාවල දී ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ලබා දුන් නොසැලෙන සහයෝගය පිළිබඳව විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය පළ කළේය.

    පීරිස් මැතිතුමා විදේශ අමාත්‍ය ලෙස පත්වීම පිළිබඳව සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ තානාපති අෂාසාදේ මැතිතුමා, ශ්‍රී ලංකා රජය සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ඉරාන ඉස්ලාමීය ජනරජයේ රජයෙහි දැඩි කැපවීම සහ සහයෝගය සහතික කළේය.

    Latest News