පාසල් 542ක් ජූනි 01ට පෙර ජාතික පාසල් වෙයි - අධ්‍යාපන ඇමති

මාර් 09, 2022

    පාසල් 542ක්, මේ වසරේ ජූනි 01 වැනිදාට ප්‍රථම ජාතික පාසල් බවට පත්කර අවසන් කරන බව, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    ඊට අදාළව විෂය ධාරාවන් අනුව ගුරුවරු අනුයුක්ත කිරීම, තොරතුරු තාක්ෂණ අංශ ස්ථානගත කිරීම ආදී කටයුතු මෙන්ම පළාත් සභා සමග සාකච්ඡා කර ඊට අවශ්‍ය චක්‍රලේඛ නිකුත් කිරීමේ කටයුතුද සිදුකරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

    අලුත් ආයෝජනයන් අවශ්‍ය පාසල් සඳහා අය වැය ලේඛනයෙන් මුදල් අමාත්‍යවරයා මේ වසර සඳහා අවශ්‍ය මුදල් ලබා දී ඇති බවත් ඔහු පැවසීය.

    ලෝක කාන්තා දිනය යෙදුන ඊයේ (08) බාලිකා පාසල් 08ක් ඇතුළු පාසල් 10ක් ජාතික පාසල් බවට පත් කළ බවත්, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජනවාරි 08 වැනිදා සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ඇතුළු පළාත් 9 තුළ පාසල් 09ක් ජාතික පාසල් කළ බවත්, ඉන්පසු රක්වාන දෙමළ විද්‍යාලය ජාතික පාසලක් බවට පත්කළ බවත් ඔහු සඳහන් කළේය.

    අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, මේ බව කියා සිටියේ, අද (09) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    Latest News