පවුල් 2000කට පළතුරු වවන්න රු.මිලියන 700ක්

දෙසැ 11, 2020

    දිළිදු ගොවි ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීමේ අරමුණින්, අපනයන වෙළදපොළට පළතුරු වගා කිරීම සදහා පවුල් 2000ක් වෙනුවෙන් රුපියල් මිලියන 700ක මුදලක් ලබාදීමට තීරණය කර තිබේ.

    ඒ අනූව, මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය, ගම්පොල, උඩුනුවර හා හේවාහැට යන ප්‍රදේශවල එක් පවුලකට රුපියල් ලක්ෂ 05 බැගින් වන පරිදි ආධාර ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක නව්‍යකරණ ව්‍යාපෘතිය ඔස්සේ ලබා දීමට තීරණය කොට ඇත.

    මෙහි විශේෂත්වය වන්නේ මෙම නිෂ්පාදන සෘජුවම අපනයන වෙළඳපොළ උදෙසා වගා කිරීමයි.

    ඵලදායිතාවයෙන් ඉහළ සහ විදේශ වෙළඳපළ ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් ලබාදෙන පැළ, ජල බිංදු තාක්ෂණය, උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයකට අවැසි තාක්ෂණික දැනුම හා අවබෝධය ද ගොවියාට ලබා දීම මෙමඟින් සිදුකිරීමට නියමිතයි.

    එම අස්වැන්න විදේශ වෙළඳපළට සුදුසු ආකාරයට අගයදාමය උදෙසා සියලු අංගයන්ගෙන් සමන්විත (State of The Art) සැකසුම් මධ්‍යස්ථාන ( Processing Centers ) ද මේ යටතේ එම ආසන සඳහා ලබාදෙනු ඇති.

    කෙසෙල්, පේර, අන්නාසි සහ අලිගැටපේර යන පළතුරු මෙම ව්‍යාපෘතිය යටතේ අපනයන ඉලක්ක කොටගෙන වගා කරනු ඇත.

    මෙම ගොවියන්ගේ නිෂ්පාදන සදහා විදේශ වෙළඳපොළ නිර්මාණය කරදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමු වූ ඩෝල් සමාගමේ නියෝජිතයන් එකඟත්වය පළ කළේය.

    මේ යටතේ ගොවි නිෂ්පාදන මැදපෙරදි වෙළඳපොළට සහ පිලිපීනයට යැවීමට කටයුතු කරනු ඇත.

    තවද මෙම ව්‍යාපෘතිය ලංකාවේ තවත් දිස්ත්‍රික්ක 12ක් ආවරණය කරනු ඇත. ඒ යටතේ දිස්ත්‍රික්ක 05ක වැඩ මේ වනවිට ආරම්භ කර ඇත.

    එහි පළමු පළතුරු කන්ටේනරය ලබන වසරේ පළමු කාර්තුවේදී අපනයනයට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

    Latest News