දුර බැහැරට එළවළු ප්‍රවාහනය දැන් දුම්රියෙන්

අප්‍රේ 15, 2020

    දිවයිනේ විවිධ ප්‍රදේශවල වගා කරන එළවළු පලතුරු මෙන්ම සහල් ඇතුලු සෙසු ආහාර ද්‍රව්‍ය දුම්රිය මගින් ප්‍රවාහණය සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල බලධාරින්ට ඊයේ (14) උපදෙස් දෙනු ලැබීය.

    ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මහජනතාව සඳහා අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට දරන උත්සාහය සාර්ථක කර ගැනීම සඳහා මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසත්, ඒ අනුව සහල්, එළවලු මෙන්ම පලතුරු ප්‍රවාහණය සඳහා දුම්රිය යොදා ගැනීමට රජය අපේක්ෂා කරන්නේ නම් ඊට ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ පූර්ණ සහාය ලබා දීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

    මේ වනවිට ඉන්ධන ප්‍රවාහණය දුම්රිය මගින් සිදු කරන අතර මෙතෙක් කිසිදු ගැටළුවකින් තොරව රට පුරා ඉන්ධන සැපයීමට රජයට හැකි වී තිබේ. මේ වනවිට දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් ඉන්ධන හිගයක් වාර්තා නොවේ. ඒ අයුරින් ආහාර ප්‍රවාහනය සඳහා ද දුම්රිය යොදා ගැනීම මගින් දැනට පවතින ගැටලු රැසකට විසඳුම් ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    Last modified on බදාදා, 15 අප්‍රේල් 2020 12:11

    Latest News