වෙබ් මාධ්‍යවේදියා තවදුරටත් රිමාන්ඩ්

සැප් 24, 2020

    අධිකරණ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද වෙබ් මාධ්‍යවේ දී ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

    මෙම සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කළ බව ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ප්‍රකාශ කළේය.

    මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු අධිකරණය හමුවේ ඇප ඉල්ලීම් ඉදිරිපත් කළේය.

    එම නීතිඥවරු සඳහන් කර සිටියේ තම සේවාදායකයා මේ වන විට දින විසිඑකක් පමණ රිමාන්ඩ් භාරයේ පසුවන බවත් පරීක්ෂණවලට උපරිම සහාය ලබාදී ඇති බවයි.

    මෙම සැකකරුට එල්ලව තිබෙන චෝදනාව ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනූව ඇප දිය හැකි වරදක් බවද එම නීතිඥවරුන් අධිකරණය හමුවේ සිය අප ඉල්ලීම් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේය.

    ඇප ඉල්ලීමට විරෝධය පළ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නිලධාරීන් මෙම සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් ඔහු විමර්ශනවලට සහය නොදී මඟ හැර යාමේ ප්‍රවණතාවක් පවතින බව පෙන්වා දුන්නේය.

    සැකකරු සිය වෙබ් අඩවියේ මුරපදය වෙනස් කරමින් මෙම පරීක්ෂණවලට සහාය දැක්වීම මඟහරිමින් සිටින බවට චෝදනා කළ එම නිලධාරීන් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් ඔහුගේ ඇප ඉල්ලීමට විරුද්ධ වන බවද සඳහන් කර සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 30 වැනිදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය.

    Latest News