අදාළ ලිඛිත ඉල්ලීම නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අදාළ සමාගමට යැවූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.
එම නෞකාවේ ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් කෝටි 34ක් ලබාදීමට එම නෞකාව හිමි ග්‍රීක සමාගම එකඟ වූ බව මීට පෙර ඇය පැවසුවාය.
නීතිපතිවරයා විසින් ගිනිගත් එම නෞකාවේ හිමිකරුවන්ගේ නීතිඥවරුන් වෙත නෞකාවේ ගින්න නිවීමට දැක්වු සහයට හා ඊට අදාළ කටයුතු සඳහා දැරූ වියදම හානි පූර්ණය කිරීම සඳහා හිමිකම් ඉල්ලීමක් පසුගිය 16 වන දා ලිඛිතව ඉදිරිපත් කර තිබුණි.
එම හිමිකම් ඉල්ලීම නෞකාවේ අයිතිකරුවන් වෙත ඉදිරිපත් කර ඇත්තේ, රුපියල් මිලියන 340ක් අය කර ගැනීම සඳහාය.
නාවික හමුදාව, ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ ඩොක්යාඩ් සමාගම, මීපා ආයතනය (සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ) හා වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව යන සියලුම පාර්ශවයන් නෞකාවේ ගින්න නිවීම සඳහා දැරූ වියදම් එලෙස ගණනය කර ඇත.
මේ අතර, එම නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුව ඇති හානිය පිළිබඳ වාර්තාව අද (24) නීතිපතිවරයාවෙත භාරදී තිබුණි.