'නිව් ඩයමන්ඩ්' නෞකාව ගැන විශේෂ සාකච්ජාවක් නීතිපති ප්‍රධානත්වයෙන්

සැප් 14, 2020

    ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ජාවක් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙයි.

    සාකච්ජාව නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ. සාකච්ජාව සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, වෙරළ ආරක්ෂක බලකාය ඇතුළු නෞකාවේ ගින්න නිවා දැමීම සඳහා දායකත්වය දැක්වූ පාර්ශව එක්ව සිටින බවටයි, වාර්තා වන්නේ.

    මේ අතර එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාව,මඩකලපුව නැගෙනහිරින් නාවික සැතපුම් 52ක් වූ ගැඹුරු මුහුදේ නැංගුරම්ලා තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගේ නියෝගය පරිදි නෞකාවේ තිබෙන සියලුම තෙල්වල සාම්පල ලබා ගැනීම සඳහා කණ්ඩායමක් ඊයේ පිටත්ව ගියේය.

    එම කණ්ඩායම,සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, වෙරළ ආරක්ෂක බලකාය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විතයි. ඔවුන් අද අලුයම ත්‍රිකුණාමලය නාවික තටාක අංගනයේ සිට නෞකාව වෙත රැගෙන ගිය බවයි, නාවික හමුදාව ප්‍රකාශ කළේ.

    Latest News