දරවල පානීය ජලයට විෂබීජයක් මුසුවෙලා

ජූලි 08, 2020

    හැටන් - දික්ඔය දරවල ප්‍රදේශයේ 100කට ආසන්න පිරිසක් පානීය ජලයේ ගැටලුවක් හේතුවෙන් දින කිහිපයක සිට විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටින බව අප වාර්තාකරු පවසයි. ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.

    දික්ඔය දරවල ජනපදයේ කුඩා ළමයින් සහ වැඩිහිටියන් 100කට ආසන්න පිරිසක් වරින් වර ක්ලාන්තය,වමනය,පාචනය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටියි. ජනපදයේ පදිංචිකරුවන් පවසන්නේ, පානීය ජලයට විෂබීජයක් මුසුවීම හේතුවෙන් මේ තත්වය හට ගන්නට ඇතැයි, විශ්වාස කරන බවයි.

    කඳුමුදුනක ඉදිකර ඇති ජල ටැංකිවලට එක් රැස් කර ගන්නා ජලය කිසිඳු පිරිපහදුවකින් තොරව ප්‍රදේශයේ පවුල් 160කට පමණ බෙදාහැරෙන අතර, එය සිදු කරනු ලබන්නේ, දරවල ජනපදයේම සමිති දෙකක් විසින් බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ප්‍රදේශයට ඊයේ පැමිණ පරීක්ෂණයක් ආරම්භ කළේය. එහිදී දැනට ලබා ගන්නා ජලය පරිහරණය කළ යුතු ආකාරය පිළිබදව ජනතාව දැනුවත් කෙරිණ.

    නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව ද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    Last modified on බදාදා, 08 ජූලි 2020 11:27

    Latest News