හරීන්ගේ ප්‍රකාශය, දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා - ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය (වීඩියෝ)

ජූනි 22, 2020
  • හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අවමන් සහගත ලෙස ප්‍රකාශයක් නිකුත් කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසයි.

    එම චෝදනාව තරයේ ප්‍රතික‍්ෂේප කරන බව, නිවේදනයක් නිකුත් කරමින් එම සම්මේලනය කියා සිටී.

    අගරදගුරු හිමිපාණන් හෝ ශ්‍රී ලාංකේය කතෝලික සභාව කිසි දිනෙක ආණ්ඩු පෙරළා දැමීමට හෝ ආණ්ඩු පිහිටුවීමට හෝ සෘජුව හෝ වක්‍රව හෝ ක්‍රියා කර නැතැයි, එම නිවේදනයේ සඳහන්.

    අනාගතයේ දී ද එසේ නොකරන බව එමගින් අවධාරණය කෙරේ. ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලය හෝ කතෝලික සභාව ක්‍රියාකාරී දේශපාලනයේ නිරත නොවන බව එම නිවේදනයේ සඳහන්. කතෝලික සභාව, ශ්‍රී ලංකා රජයේ පුරවැසි නියෝජනයක් වේ. එබැවින් රජයේ නීති පිළිපැදිමට හා අනුගමනය කිරීමට බැඳි සිටී. සභාව, ආණ්ඩුවේ කටයුතුවලට මැදිහත් නොවන අතර, ශ්‍රී ලංකා රාජ්‍යයට සහයදීමට නිරන්තරයෙන් කැපවී සිටී. එය ආණ්ඩුවකට හෝ දේශපාලන පක්‍ෂයකට හෝ සහය දීමක් ලෙස වරදවා වටහා නොගත යුතුය.

    සැමවිටම අගරදගුරු හිමියන් සහ කතෝලික සභාව ඉතා වගකීමෙන් යුතව කටයුතු කරනු ලබන බව හරේන් ප්‍රනාන්දු මහතාට මතක් කරදෙනු ලබයි. ඔහු විසින් අගරදගුරු හිමිපාණන් දේශපාලනයේ නිරතවීම යන දැඩි ප්‍රකාශය ද පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එම නිවේදනයේ සඳහන්. උන්වහන්සේ තම සැදැහැවතුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලීම වැරදිද? උන්වහන්සේට එසේ හඬ නගන්න වේදිකා තැනුවේ කවුරුන්ද? හරීන් ප්‍රනාන්දු මහතා තම මහජන නියෝජිත වගකීම ඉටු කළේ නම්, කාදිනල් හිමිපාණන්ට යුක්තිය ඉල්ලා සිවිල් කටයුතුවලට මැදිහත්වීමට සිදු නොවනු ඇත.

    කතෝලික ආගමිකයෙකු ලෙසවත්, හෘද සාක්‍ෂියට එකඟව පාස්කු ප්‍රහාරය වළක්වා ගන්නට හැකියාව තිබිණ. ප්‍රහාරයෙන් පසුව වත්, එය විහිළුවට නොගෙන මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් පෙනී සිටිමින් යුක්තිය හා සාධාරණය ඉල්ලා කැපවන්නට හරීන් ප්‍රනාන්දු මහතාට තිබුණා නොවේදැයි, එම නිවේදනයෙන් ප්‍රශ්න කෙරේ.

    අඩුම වශයෙන් තමන් දැරූ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී වගකිවයුත්තන්ට බලපෑමක් කළ යුතුව තිබුණා නොවේද? එසේ වූවා නම් හරීන් මහතා මෙන් කාදිනල් හිමිපාණන්‍ට පරිභව කරන, අපහාස කරන ඇත්තවුන් කියන විදියට කාදිනල් හිමියන්ට වැඩක් බලාගෙන ඉන්න තිබුණා නොවේද?

    එබැවින් කාදිනල් හිමිපාණන් ඇතුළු සභාව ඔවුන්ගේ දේශපාලනයට ඈඳා ගැනීමෙන් දැන්වත් වළකින ලෙසත්, වෙනත් න්‍යායපත්‍ර වෙනුවෙන් උන්වන්සේට මඩ ගැසීම් නතර කරන ලෙසත් ක්‍රිස්තු අනුගාමිකයෙකු වශයෙන් ඔහුගේ දූත කාර්යය අවබෝධ කරගෙන කටයුතු කරන ලෙසත්, ඉල්ලා සිටින බව රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    මේ අතර, අගරදගුරු පදවි කතෝලික පූජක සංසදය ද නිවේදනයක් නිකුත් කරමින්, හරීන් ප්‍රනාන්දු මහතාගේ පදනම් විරහිත ප්‍රකාශය තරයේ හෙළි දකී. එම ප්‍රකාශය හමුවේ අගරදගුරු වසමේ සහායක රදගුරු හිමිපාණන් ප්‍රමුඛ කතෝලික පූජක සංසදය බලවත් කම්පාවටත්, කනස්සල්ලටත් පත්ව සිටින බව එි සඳහන් කර තිබේ.

    කාදිනල් හිමිපාණන්ට අවමන් සහගත ලෙස සිදු කරන ලද ප්‍රකාශය මුළුමනින්ම පදනම් විරහිත, සාවද්‍ය මෙන්ම පටු දේශපාලන වාසි උදෙසා සිදුකරන ලද්දක් බව පැහැදිලිය. ඔහු, අගරදගුරු ධූරය සහ අතිඋතුම් අගරදගුරු හිමිපාණන් අවඥාවට ලක්කර ඇතැයි ද නිවේදනයේ සඳහන්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉටුකර ගැනීමට අගරදගුරු හිමිපාණන් දැඩි ප්‍රයත්නයක නියැලේ.

    එය නිග්‍රහ කිරීමෙන් සිදුවූ සිත්වේදනාව සහ අවමානය ද හිටපු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශ යේ බරපතලකම ද වහා තේරුම් ගනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද නිවේදනයේ සඳහන්. කතෝලික සභාවේ නායකත්වයට පහර එල්ල කිරීමට හරීන් ප්‍රනාන්දු මහතා ගත් උත්සහය හමුවේ මෙම තත්වය නිවැරදි කිරීමට අදාළ අංශ වහාම පියවර ගත යුතුවේ. කතෝලික සසුන් නායකත්වයට සහ කතෝලික ප්‍රජාවට සිදුවු අපහාසයට සමාව ගතයුතු බව නිවේදනයේ සඳහන්. කොළඹ අගරදගුරු වසම, දේශපානයේ දී අපක්‍ෂපාතීව රටේ නීතිය රකිමින් ආගම් අතර එකමුතුව සහ ජන කොටස් අතර නිදහස උදෙසා නිරන්තරයෙන් කැපවන බව ද සංසදය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    Latest News