කොවිඩ්-19; සුවය ලැබූ සංඛ්‍යාව 1,526ක්

ජූනි 22, 2020

    ගතවූ පැය 24 තුළ කොවිඩ් 19 රෝගීන් එක් ලක්‍ෂ 83,000කට අධික පිරිසක් ලොව රටවල් ගණනාවකින් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    ගතවූ දින දෙකේ දී මෙරටින් කිසිදු රෝගියෙකු වාර්තා වී නැතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    මෙරට කොවිඩ්-19 වැළඳී සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව, 1,526ක් වන අතර, එහි ප්‍රතිශතය 78.25ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 413ක්. සිදුකරන ලද සමස්ත පී සී ආර් පරීක්‍ෂණ සංඛ්‍යාව 96,268ක්.

    හෙට සිට යළි අදියර කිහිපයක් යටතේ වැලිසර මහසෙන් නාවික හමුදා කඳවුර යළි විවෘත කෙරේ.

    තාවකාලිකව අත්හිටුවනු ලැබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද යළි ආරම්භ කෙරිණ. දිනකට කොළඹින් 250 දෙනෙකුට හා දකුණු පළාත් කාර්යාලයෙන් 75 දෙනෙකුට සේවය සැපයේ.

    මේ වසරේ මාර්තු 13 වැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා අතර වූ කාලය තුළ කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර සය මසක කාලයක් සඳහා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කරයි. ජුනි 30 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර තවත් මාස තුනකින් දීර්ඝ කෙරෙනු ඇත.

    සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන සැලසීමට ගත් තීරණය අනුව එක් ලක්ෂ 44,000 සෙත සැලසේ. සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි මාර්ගෝපදේශකයන් සඳහා රුපියල් 20,000ක දීමනාවක් ලබාදීමට නියමිතයි. රියදුරන් සඳහා ලබාදෙන දීමනාව රුපියල් 15,000ක්. සංචාරක අධිකාරියේ වෙබ් අඩවිය ඔස්සේ ඊට අයදුම් කළ හැක.

    මේ අතර කොවිඩ්-19 ගෝලීය රෝගීන්ගේ සංඛ්‍යාව, ලක්‍ෂ 90 ඉක්මවා තිබේ. සමස්ත මරණ සංඛ්‍යාව, හාර ලක්‍ෂ 70,000කට අධිකයි. සුවය ලැබූ සංඛ්‍යාව හතලිස් අට ලක්‍ෂයක්. ගත වූ පැය 24 තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ අමෙරිකාව, බ්‍රසීලය සහ ඉන්දියාව යන රටවලින්. දැඩි බලපෑමකට ලක්වූ අමෙරිකාවෙන් පැය 24ක් තුළ රෝගීන් 26,079 දෙනෙකු හඳුනා ගැණින. ඉන්දියාවෙන් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව, රෝගීන් 15,183ක්.

    දුම්රිය මැදිරිවල ඉඩ පහසුකම් අවමවීම හේතුවෙන්, දල්ලි හි හෝටල් 25ක් ද ප්‍රතිකාර සඳහා යොදා ගැනේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරවාසීන්ට ඉන් පිටතට නොයන්නැයි, එරට බලධාරීන් නීති පනවා තිබේ. නගරාශ්‍රිතව වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් හමුවීම ඊට හේතුවයි. ජනරාශීවීම් ද තාවකාලිකව අත්හිටවනු ලැබේ.

    Latest News