මහ මැතිවරණයට තවත් පෙත්සමක්

මැයි 09, 2020

    මහ මැතිවරණය ජුනි 20 වැනි දින පැවැත්වීමට ගෙන ඇති තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    එම පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ, ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරුන් විසින්.

    පෙත්සමෙන් සඳහන් කර තිබෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වූ දින සිට මාස තුනක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇති බවයි. ඒ අනූව, ජනාධිපතිවරයා ඉකුත් මාර්තු මස දෙවැනි දින, පැවති පාර්ලිමේන්තුව විසුරුවා හරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුළින් මහ මැතිවරණය අප්‍රේල් මස 25වැනි දින පැවැත්වීමට දින නියම කෙරුණු බව පෙත්සමේ දැක්වෙයි. පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අප්‍රේල් 25 මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතවූ බැවින් එය ජුනි මස 20 වැනිදා තෙක් කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය කළේය.

    මෙලෙස ජුනි 20 මැතිවරණයකට දින නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් කියා සිටින්නේ, පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ද නීතිය ඉදිරියේ බල රහිත වන බවයි.

    එමෙන්ම, කොරෝනා වසංගතය තවමත් පාලනයකට නතු වී නොමැති හෙයින් මෙම අවස්ථාවේ දී මැතිවරණයක් පවත්වනු ලැබුවහොත් ජනතාවට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව අහිමි වනු ඇති බවත් එමගින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවකාශය ඇහිරි යනු ඇති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

    කොරෝනා වසංගතය අවසන් වීමට පෙර මැතිවරණයක් පැවැත්වීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසද, ඔවුන් සිය පෙත්සමෙන් වැඩිදුරතට් ඉලාල් තිබේ.

    Last modified on සෙනසුරාදා, 09 මැයි 2020 17:37

    Latest News