අභියෝග හමුවේ අර්ථිකය පවත්වාගෙන යාමට ගත් කැබිනට් තීරණ (වීඩියෝ)

අප්‍රේ 30, 2020
  • අභියෝග රැසකට මුහුණ දුන් ජාතියක් ලෙස රටේ ආර්ථික අංශ පවත්වාගෙන යාම සඳහා වන වැඩපිළිවෙළ අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තීරණ කැබිනට් මණ්ඩලය මේ වනවිටත් ගෙන ඇතැයි, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී.

    අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලයට කෘෂි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා 03ක් ඉදිරිපත් කළේය. යල කන්නයේදී හෙක්ටයාර පන් ලක්‍ෂ 23,000ක් අස්වැද්දීමට නියමිතයි. ඒ සඳහා පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්‍ෂ පනස් දහසක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. එම පොහොර සියල්ල මැයි 20 වැනිදා සිට ගොවි ජනතාවට බෙදා හැරීමට නියමිතයි. ගොවි ජනතාව සඳහා “අස්වැන්න“ නමින් ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. එය ලබන සතියේ සිට ක්‍රියාත්මකයි.

    මහජන බැංකුව හරහා ක්‍රියාත්මක එම ණය යෝජනා ක්‍රමය හරහා ගොවීන්ට සහනදායී පොලී අනුපාතයක් යටතේ රුපියල් ලක්‍ෂ 30ක් දක්වා වන ණය මුදලක් ලබාගත හැක.

    එමෙන්ම අපනයනය මූලික කරගත් පොකුරු ගම්මාන 200ක් ස්ථාපනය කිරීමටත්, ඒවා අලෙවිය සඳහා සිල්ලර වෙළෙඳ සැල් 200ක් ආරම්භ කිරීමටත් නියමිතයි. එමෙන්ම, හරිත උද්‍යාන 50ක් ඇති කිරීමටත්, වස විස නැති බෝග අක්කර දස දහසක වගා කිරීමටත්, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. එමෙන්ම බැංකු ණය ගෙවීම් පැහැර හැර නොමැති සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ණය පහසුකම් ලබාදීමට අනුමැතිය හිමිවී තිබේ.

    වත්මන් තත්වය යටතේ ජීවනෝපාය අහිමි වූ කලා ක්ෂේත්‍රයට අදාළ වෘත්තිකයන්ට විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. එම යෝජනාවේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයට බලය පැවරී තිබේ. මේ යටතේ රුපියල් ලක්‍ෂ යේ සිට ලක්‍ෂ 05 දක්වා මුදලක් සහන පොලී අනුපාතය යටතේ ලබාගත හැක.

    මැද කොළඹ ජල සම්පාදන ව්‍යාපෘතිය හා අපජලය කළමනාකරණ ව්‍යාපෘති වැඩි දියුණු කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. “ඊ-පාස්පෝට්“ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 අප්‍රේල් 2020 20:06

    Latest News